උණුහුමට මං ආදරෙයි…

උණුහුමට මං ආදරෙයි…

- in Social
3067
1

රූස්ස ගස් පිරි මහ කැළයේ ගස්, වැල්, මල් වලින් වැසී තිබුණේ, කළුවර කාමරයක් වගේ. වැසි වැටී නැති පරිසරය ඉතා කර්කශයි. නිහඩ බව එහි නැති වුණේ කුරුල්ලන්ගේ හඩිනි. ඒ හඬ අතරේ ඇසුනේ කුරුල්ලෙකුගේ විලාපයකි. එය මුළු කැලයම දෙවනත් කළේය. කූඩුවෙන් බිමට වැටුණු කුරුලු පැටවා සොයා ගැනීමට කුරුළු අම්මා විලාප දිදී මුළු කැලයම දෙවනත් කරයි. බිමට වැටුණු කුරුළු පැටියා සොයන අම්මාට කළුවර වැටෙන තෙක් ඒ පැටියාව සොයා ගන්නට පුළුවන් වුණේ නැහැ. රැය පහන් කර නැවතත් උදෑසන සිටම සොයනුයේ තමන්ගේ කුරුළු පැටියාවයි. ඒ ආදරය අම්මාගෙයි. අපි අහල තියෙනවා නේද ලේන් අම්මාගේ කථාව. මුහුදට වැටුණු ලේන් පැටියාව බේරා ගන්න මුළු මුහුදම තමන්ගේ වලිගයෙන් හින්දා කියන කථාව. මේ හැම දෙයින්ම කියන්නේ මේ ආදරය අම්මාගේ කියායි. සතෙක් වුනත් ඒ අම්මා තමන්ගේ පැටියන්ට ආදරෙයි.

අම්මගේ ආදරය කියල නිම කරන්න බැහැ. එය ලබන්නත් පිං කරලා තියෙන්න ඕන. පිං කරලා ලබපු අම්මගේ ආත්මය පරිස්සම් කර ගන්න දැන ගන්න ඕනෙත් අම්මායි. අම්මා කියන්නේ උත්තරීතර පදවියක්. මේ පදවිය ලබපු සමහර අම්මලා ඉන්නවා නරුම අම්මලා. ඉපදුන ගමන් දරුවන්ගේ බෙල්ල මිරිකලා දාන, ඇළට දොළට දරුවන් විසි කරන අය. මොවුන් කිසිසේත්ම අම්මලා වෙන්නේ නැහැ. කුසට අහරක් නැති, ඉරිච්ච කඩමාලු ඇඳ ජීවිතේ ගොඩක් දුක් විඳලා දරුවන් ලොකු මහත් කරන අම්මලා අද සමාජයේ නැතුව නොවේ. ඇය තරම් දුක් විදින කෙනෙක් ඇය තරම් බැනුම් අහන කෙනෙක් මේ ලෝකයේ නැති තරම්ය. ඇය හරියට අහස වගෙයි. වැස්ස වැස්සත්, වැස්ස නැති වුනත් අපි අහසට බනිනවා. ඒ වගේ තමයි ඇයත්. ළමයින් හොඳට හැදුනොත් ඇයට හොඳ කියන්නේ නැත. ඒ හොඳ වෙන කෙනෙකුට යයි. නමුත් නරකට හැදුනොත් බැනුම් සියල්ල ඇයට නොඅඩුව ලැබෙයි. නමුත් ඒ හැමදේම දරාගැනීමේ ශක්තිය ඇත්තේද ඇය ළඟයි. 

ඇය හරියට නඩුකාරයෙක්, දොස්තර කෙනෙක්, හාමුදුරුනමක් වගෙයි. මොනවහරි ප්‍රශ්නයක් වූ විට නඩු අහන්නෙත් ඇයයි,  උත්තර බඳින්නෙත් ඇයයි, දඬුවම් දෙන්නෙත් ඇයයි. ලෙඩක් දුකක් හැදුනාම මුලින් දැනගන්නෙත් ඇයටයි, ගුණධර්ම, යහපත් දරුවෙක් වෙන්නේ කොහොමද කියලා කියලා දෙන්න පුළුවන් ඇයට පමණයි. විවිධ චරිත වලින් හෙබි ඇය අවස්ථානුකූලව ඒ ඒ වෙලාවට හැඩ ගැසීමට ඇයට පුළුවනි. ඒ ඇය අවස්ථාව කුමක්ද කියා දන්නා බැවිනි.

රතු පාටට තියෙන ලේ ටික සුදු පාටට හරවා දෙන්නට හැකියාව ඇත්තේ ඇයටයි. බොන්නට දුන් කිරි කදුලට ණය ඉල්ලුවේ නැහැ කවදාවත්. ඒ කිරි කදුලට අපි හැමදාමත් ණය ගැතියි. ඇය ණය ඉල්ලුවේ නැති වුණාට සමහර දරුවන් තමන්ගේ අයිතිය ඉල්ලා අඩත්තේට්ටම් කරන සමාජයක් අප අතර දැන් බිහි වී තිබෙනවා. දුන් කිරි ටිකකට ණය ගෙවපන් දුවේ/ පුතේ නොකීවාට ඇයට ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදු වී තිබෙන බව අපි දනිමු. එහෙම වෙන්නේ මේ සමාජයේ ඇති වැරැද්ද නිසා නේද කියලා හිතෙනවා. අම්මගේ ආදරය කුමක්ද කියා හදුනගන්න බැරි දරුවන් මේ තත්වයට පත් වෙනවා.

සමහර අම්මලා ඉන්නවා තමන්ගේ දරුවන්ට ආදරය දෙන්න දන්නේ නැහැ. දරුවන් හතර පස් දෙනෙකු සිටින පවුල් වලට මේ තත්වය බලපාන කරුණක් යයි සිතේ. පලවෙනි සහ අන්තිම දරුවාට වැඩියෙන් ආදරය ලැබෙනවා. මුලින් දැකපු ළමයා කියා පළමු දරුවාට වැඩියෙන් ආදරය කරනවා. අන්තිම ලැබුණු දරුවා බඩපිස්සි/ බඩපිස්සා යැයි කියා ආදරය කරනවා. ඒ අතර මැද සිටින දරුවන්ට ආදරය ලබන්නේ අඩුවෙනි. ඒ වගේමයි උපදින දරුවෙකුගේ හදහන බලලා කියන තොරතුරු අනුව සමහර අම්මලා දරුවන්ට හිරිහැර කරනවා. හඳහන් වල තිබෙන දේවල් සියයට සියයක් සත්‍ය නම් මේ ලෝකේ කොපමණ ලස්සන වේවිද. ඒවා විශ්වාස කර ළමයින් අගාදයට දමන්නේ නම් ඒ අම්මා කෙනෙකු නොව දරුවෝ පස් දෙනෙක් සිටිනවා නම් ඒ දරුවෝ පස් දෙනාගේම ඔබයි අම්මා. ඒ සියළු දෙනාටම එක විදියට එක ආකාරයටම ආදරය දිය යුතුයි. එතකොට තමයි තමන්ගේ දරුවොත් තමන්ට ආදරය කරන්නේ.

ඉපදුන ගමන් තමන්ගේ අම්මා නැතිවුන දරුවන් කොපමණ සිටිනවාද? ඒ දරුවෙකුට අම්මා කෙනෙක් වෙන්න පුළුවන් නම්….. අම්මගේ උණුහුම, ආදරය, කරුණාව, දයාව මේ සියල්ල ඔබටත් ලබා දෙන්න පුළුවන් නම් ඒ ඔබ ලබන්නේ ජීවිතයේ කවදාවත් නොලබන දෙයක් වේවි. අම්මගේ ආදරයට මිලක් නැහැ, තැනක් නැහැ, ඒක හරි පුදුමයි, පුදුමාකාරයි.

මල පොතේ අකුරු නොදත් අම්මා තමන්ගේ දරුවන් විශ්ව විද්‍යාලයට යවනවා. තමා නොලත් අත්දැකීම් ලබන්නට ජීවිතය ජයගන්නට. සමහර දරුවන් මේ සියල්ල ලබා ගත් පසු තමන්ගේ අම්මා අමතක කරනවා. ඒත් ඇය ඒ දරුවන් පිළිබඳව කිසිම වෛරයකින් හෝ අමනාපයකින් ඉන්නේ නෑ. ඒ තමන්ගේ දරුවන් සිටින තැන බලා සන්තෝස වන නිසාවෙනි. අම්මා කෙනෙක්ගෙන් ගුටියක් නොකාපු කෙනෙක් මේ සමාජයේ නැති තරම්ය. ඒ ගුටිය හරි සැරයි. අම්මා හරි සැරයි. පොඩි කාලේ අපි එහෙම හිතුවත් අපි ලොකු වෙනකොට තමයි ඒ ගුටියේ රස දැනෙන්නේ. ඒ ගුටිය අපිව කොයි තරම් දුරට ගෙනිහින් තියෙනවාද? පොඩි කාලේ ඒ ගුටියට අපි වෛර කරනවා තරහා ගන්නවා. ඒ තරහා නිසාම අපි අපෙන්ම පළිගන්න වෙලාවල් තියෙනවා. ඒ ගුටියේ රස දැනෙන්නේ ගොඩාක් කල් ගියාට පස්සෙයි. සමහර වෙලාවට එය දැනෙනකොට අපි පරක්කු වැඩි වෙන්නත් පුළුවන්. අද අපි හොඳ තැනක ඉන්නවනම් ඉන්නේ ඒ අම්මා නිසයි. ගුටියක් නොදී හදන දරුවයි, හැඳි නොගා හදන කිරි හොද්දයි දෙකම එකවගේ කියනවා. ඒක ඇත්ත.  අම්මලා ගහන්නේ තමන්ගේ ළමයින්ටයි. පිට ළමයින්ට නෙමෙයි. ගුටි නොගහ දරුවන් හදන අම්මලත් ඉන්නවා. ඒ ළමයිනුත් හැදෙනවා. එය සාපේක්ෂයි. අද තිබෙන සමාජයත් එක්ක ළමයින් සහ අම්මා අතර සහ සම්බන්ධය තිබිය යුතුයි. ඒ සම්බන්ධතාවය නැති වුනාමයි ළමයි අයාලේ යන්නේ.

අම්මලාට තියෙන්නේ පුදුම ඉවක්. තමන්ගේ දරුවන්ට කුමක් හෝ නපුරක් වෙන්න යනකොට ඉස්සෙල්ලාම දැනෙන්නේ අම්මාට. ඇයි ඒ? දරුවන් කියවීමට අම්මාට හැකියාවක් තියෙනවා. නමුත් දරුවන් කරන්නේ කුමක්ද? ඇය කියන දේ අහන්න අකමැති නිසා අමාරුවේ වැටෙන වෙලාවල් බොහෝයි. ඇය උගත් නොවන්නට පුලුවන්, ඉගෙනීමේ පරතෙරට නොයන්නට පුළුවන්, නමුත් ඇය සමාජ පාසලේ ඉහලින් සිටිනවා. සමාජය කුමක්ද කියා ඇය හොඳින් දන්නා නිසා ඇයගේ දරුවන්ගේ ප්‍රශ්න වලට ඇයට උත්තර තියෙනවා. බඩට නොකා ඉනට වැරහැලි ඇඳ දරුවන් වෙනුවෙන් වියපත් වූ අම්මා රැජිණියකි.

කිරි කඳුලේ ණය ඉල්ලුවේ නැති අම්මා, ලේ ටික කිරට හරවා තම දරුවන්ට දුන්නා. සමහර දරුවන් ඒ කිරි කඳුල, කඳුලක් බවට පත් කරලා ඇයව පරලොව යැවූ කතා අපට අසන්නට දකින්නට ලැබුණා. ඒ දරුවන් නොව නරුමයන්ය. ඒ අම්ම වෙනුවෙන් අහස, පොළවද කෑ ගසා හඬයි මේ කරන අපරාධ වලට. ඒ වගේ අදහස් පහල වන්නේ මේ නරුමයන් පෙර කරගෙන ආ පව්කාර කමටයි. ජාති ජාතිත් ඔවුන්ට අම්මා කියන කෙනෙක් ලැබෙන්නේ නැති බව හොඳාකාර දනී. අහස, පොළොව මේ මුළු විශ්වයම ඔවුන්ට සදාකල් දඩුවම් දේවි නිසැකවම. වහලයක් නැති කල ගෙයක් වෙන්නේ කොහොමද? අම්මා නැති කල දැයක් සැදෙන්නේ කෙලෙසද ?

මා වන මලක් කර

සුවඳ කර විසිකරනු මැන

සමාජයේ දොරකඩට

බාගෙට පිපුණු

මා දෙස බලා හිඳ

අඩන්නෙපා අම්මේ

කඳුලු නොව මට ඕනෑ

පිපෙන්නට බෑ හීතලේ

උණුසුමයි මට ඕනෑ

දිනන්නට ජීවිතේ

By මිආ

Facebook Comments

1 Comment

  1. So true MiA..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *