Sports

මැරඩෝනා: ලොවක් වසඟ කළ ආජන්ටිනාවේ දිව්‍යමය හස්තය

0

මීට හැට වසරකට පෙර ඩියේගෝ අර්මන්දෝ මැරඩෝනා උපත ලැබුවේ බුවනොස් අයරෙස්හි පැල්පත් නගරයකදීය. දුගී බවින් පිරුණු සිය ළමා කාලයෙන් ගැලවී යමින් පාපන්දු ලෝකයේ සුපිරි තරුවක් බවට පත් ඔහු ඇතැමෙකු විසින් සලකනු ලැබුවේ බ්‍රසීලයේ පේලේ (Pele) පවා අභිබවා ගිය පතාකයෙකු ලෙසය. ඉතාලි ක්‍රීඩා සමාජයක් වන නැපෝලි කණ්ඩ‍ායම සමඟ එක්ව ලීග තරගාවලි සඳහා සහභාගි වූ මැරඩෝනා, 1987 සහ 1990 වසරවලදී සෙරී ඒ ලීග ශූරතාවද, 1987 වසරේදී ඉතාලි කුසලානයද, 1991 වසරේදී යූෆා කුසලානයද දිනා ගැනීමට සමත් විය.ඩියේගෝ මැරඩෝනා දීප්තිමත්, අසහාය, උත්කෘෂ්ට පාපන්දු තරුවකි. නිර්දය ප්‍රහාරකයෙකු මෙන්ම වරෙක මතභේදයට තුඩු දුන් චරිතයක් විය. පාපන්දු ලෝකයේ සුවිශේෂී ලකුණක් තැබූ ඔහු සහජ හැකියාව, චිත්තාකර්ෂණය, දැක්ම සහ වේගයේ දුලභ සම්මිශ්‍රණයක් වශයෙන් රසික හදවත් තුළ සදා රැඳෙනු ඇත.

එමෙන්ම වස‍ර 1986 දී පාපන්දු ලෝක කුසලාන දිනා ගැනීම සඳහා ආජන්ටිනා කණ්ඩායම මෙහෙය වූ හෙතෙම, එහි තරගයකදී එංගලන්ත කණ්ඩායම තරගාවලියෙන් ඉවත් කරමින් ‘දෙවියන්ගේ හස්තය’ (‘Hand of God’)  නමින් ලොව ප්‍රචලිත ගෝලය වාර්තා කළේය.මේ අසහාය ‘පොඩි මිනිසා’විසින් තරඟ 491 කදී රැස් කරනු ලැබ ඇති ගෝල සංඛ්‍යාව 259 කි.

කුඩා වියේදීම ක්‍රීඩාවේ ආශ්චර්යමත් දක්ෂතා විදහා දැක්වූ මැරඩෝනා සිය මංගල ජාත්‍යන්තර තරඟයට සහභාගී වන විට අවුරුදු 16 ක කොලු ගැටයෙකි.අඩි 5 අඟල් 5 ක් උසින් යුත් ඔහු සාමාන්‍යයෙන් ඔබ බලාපොරොත්තු වන ආකාරයේ දේහදාරී ක්‍රීඩකයෙකු නොවීය.

නමුත් ඔහු වෙතින් මෘදුව ගලා ගිය දක්ෂතා, කඩිසරබව, දැක්ම, පන්දු පාලනයේ දක්වන ලද හැකියාව පෙර කී ශරීර ප්‍රමාණය සහ බර සම්බන්ධයෙන් ඇති වූ ගැටලු පරයා ඉස්මතු විය.තමා ඉදිරියට පැමිණෙන ප්‍රතිවාදියා ක්ෂණයෙන් කරඇර යාමේ හැකියාවක් තිබුණ ද පිටියේ අඩදඹර මගහැර යාම ඔහුට දුෂ්කර කටයුත්තක් වූවාට සැක නැත.

ආජන්ටිනාව වෙනුවෙන් 91 ක් වරක් පිටියට පා තබා ඇති මැරඩෝනා වාර්තා කළ ගෝල 34 අපට කියනුයේ ඔහුගේ ජාත්‍යන්තර ක්‍රීඩා දිවියේ කොටසක් පමණි.

1986 මෙක්සිකෝවේ පැවති පාපන්දු ලෝක කුසලානයේ දී ඔහු සිය රට ජයග්‍රහණය වෙත ගෙන ගියේය. ඉන් සිව් වසරකට පසු යළිත් අවසන් තරගයේ ස්ථානයක් දිනා ගැනීමට ද ඔහු ප්‍රමුඛ ආජන්ටිනා කණ්ඩායම සමත් විය.ඊට පෙර පැවති අර්ධ අවසාන පූර්ව වටයේදී මතභේදයක පෙරලකුණු පළවුණු අතර පසුව ඔහුගේ ජීවිතය ඒ තුළ ගිලිනි.

එංගලන්තයට එරෙහිව පැවති එම තරඟයට අතිරේක ඝට්ටනයක් එකතු වී තිබුණේ එයින් සිව් වසරකට පෙර එක්සත් රාජධානිය සහ ආජන්ටිනාව අතර පැවති ෆොක්ලන්ඩ්ස් යුද්ධය හේතුවෙනි. එය පිටියේ තියුණු බව තවත් දැඩි වීමට හේතු විණි. කිසිඳු ගෝලයක් වාර්තා නොකර මිනිත්තු 51 ක් ගතව තිබියදී ප්‍රතිවාදී ගෝල රකින්නා වූ පීටර් ෂිල්ටන් සමගම ඉහළට එසවුණු මැරඩෝනා සිය අතින් ක්ෂණික පහරක් ගසමින් පන්දුව ගෝලය තුළට යැවීය. නමුත් විනිසුරුවරයා ඊට එරෙහි නොවීම නිසා ආජන්ටිනාවට එමගින් ලකුණක් එක් විය.

මැරඩෝනා පසුව කියා සිටියේ දේව හස්තයෙන් ලැබුණු ස්වල්ප උදව්වටත් ස්වල්ප වශයෙන් සිය ‘ඔලුව පාවිච්චි කිරීමටත්’ ස්තූති වන්නට එම ගෝලය වාර්තා කළ බවය. ඉන් මිනිත්තු හතරකට පසු ඔහු වාර්තා කළ දෙවන ගෝලය ‘සියවසයේ ගෝලය’ ලෙස හැඳින්වේ.

“එය විශිෂ්ඨ පහරක් බව කිව යුතුයි. ඒ ගෝලය ගැන නම් සැක ඇතිකර ගත යුතු නැහැ. මේ නම් සැබෑ ශ්‍රේෂ්ඨ පාපන්දු ක්‍රීඩකයෙක්,” යනුවෙන් බීබීසී විස්තර විචාරක බැරී ඩේවියස් එහිදී පැවසීය.

මැරඩෝනා පසුව කියා සිටියේ “එය තරඟයකට එහා ගිය දෙයක්. එය ඉංග්‍රිසීන් පරාජයට පත් කිරීමක්,” යනුවෙනි.

කෙසේ වුවත් එම කාල වකවානුව තුළ ඔහු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටි අතර ඒ හේතුවෙන් ක්‍රීඩා සමාජයෙන් ඉවත් වූ 1991 වසරේදී ඔහුට එරෙහිව මාස 15 ක තරග තහනමක්ද පැනවිණ. වසර 1994 දී ඇමරිකාවේ පැවති ලෝක කුසලාන තරගාවලියකදී ඔහු මත්ද්‍රව්‍ය සම්බන්ධ පරීක්ෂණයකින් අසමත් වූ අතර 1999 සහ 2000 යන වසරවලදී හෘදයාබාධ හේතුවෙන් රෝහල් ගත කරනු ලැබීය.

මොළයේ සැත්කමක් සඳහා රෝහල්ගත කර දින අටක් වැනි කෙටි කාලයක් තුළ මැරඩෝනා, රෝහලෙන් පිටව ගියේය. සැත්කමෙන් අනතුරුව (2020 නොවැම්බර් මස 11 වැනිදා පස්වරු 6 ට පමණ) මැරඩෝනා සිය පෞද්ගලික සායනයෙන් ඉවතට ගෙන ගිය මොහොතේදී රසිකයන් සිය ගණනක් ඔහුගේ ඡායාරූප ගැනීමට උත්සාහ කළහ.

එක්සත් රාජධානියේ වේලාවෙන් බදාදා පස්වරුවේදී ආර්ජන්ටිනාවේ ‘ක්ලැරින්’ පුවත්පත වාර්තා කළ  මැරඩෝනාගේ අභාවය පිළිබඳ පුවත ලොව පුරා මහත් බලපෑමක් ඇති කළේය. මැරඩෝනාගේ නීතීඥවරයා මෙම කනගාටුදායක පුවත සනාථ කළ අතර ඒ සමගම ලොව පුරා පාපන්දු ක්‍රීඩා ලෝලීන් ඔහු වෙනුවෙන් ශෝකය පළ කළේය.

චීනෙ බල මඩින්න එන BECA

Previous article

නාසා ආයතනයෙන් මුහුදු මට්ටම ඉහළ යාම නිරීක්ෂණයට චන්ද්‍රිකාවක්

Next article

Comments

Leave a reply

Your email address will not be published. Required fields are marked *