‘තියට (R) – රහට’|ආශ්වාදය සහතිකයි – අගෝස්තු 7, 8, 9

‘තියට (R) – රහට’|ආශ්වාදය සහතිකයි – අගෝස්තු 7, 8, 9

- in Arts, Events
3880
0

‘තියට (R) – රහට’ | ආශ්වාදය සහතිකයි

‘තියට රහට’ නාට්‍ය උළෙලේ පළමු අදියර ලෙස අගෝස්තු 7,8,9 කියන දින තුනේ බොරැල්ල නාමෙල් මාලිනී පුංචි තියටර් රඟහලේ සවස 3.30ට සහ 6.30ට නාට්‍ය තුනක් පෙන්වීමට කටයුතු සූදානම් වෙමින් පවතියි. අගෝස්තු 7 වෙනිදා චමිල ප්‍රියංකගේ ‘මෙය තුවක්කුවක් නොවේ’ නාට්‍යයත් , අගෝස්තු 8 වෙනිදා චාමර ගුරුගේ ගේ ‘What A Nice Couple’ නාට්‍යත්, අගෝස්තු 9 වෙනිදා අසංක සායක්කාරගේ ‘සංඝදාසගේ චූටි කලිසම’ නාට්‍යත් මෙලෙස වේදිකාගතවීමට නියමිතය. ලංකාවේ තරුණ නාට්‍යකරුවන් තිදෙනෙක් විසින් ලාංකේය සමාජ දේශපාලන පරිසරය පිළිබඳව සිදුකරන එකිනෙකට වෙනස් වූ කියවීම් ති්‍රත්වයක් මෙම නාට්‍ය තුන හරහා මතු කිරීමට බලාපොරොත්තු වන අතර, මේ එම උළෙල පිළිබඳව පැවැත්වූ කතාබහකි.

මෙම උළෙල සංවිධානය කිරීමට හේතු වූ කාරණා පිළිබඳව කතා කළොත්

චරිත දිසානායක මහතාගේ ‘අහස’ මීඩියා වර්ක්ස් ආයතනය තමයි මෙම නාට්‍ය උළෙලට අනුග්‍රහය දක්වනු ලබන්නෙ. ශ්‍රී ලංකාවේ නාට්‍ය උළෙලවල් බොහෝ විට සංවිධානය වෙන්නේ එක්කො තනි පුද්ගලයෙක් කේන්ද්‍ර කරගත් නාට්‍ය උළෙලක්, එහෙම නැත්නම් සම්මාන කේන්ද්‍ර කරගත් නාට්ය උළෙලක් විදිහට පමණයි. ඉන් මිදිලා මේ වගේ එකිනෙකට වෙනස් රසයන්  තුනක් තිඛෙන,  නාට්‍ය තුනක්, උළෙලක් විදිහට මෙච්චර කාලයක් කෙරිලා නැහැ. ඉතින් මෙම උළෙල අගෝස්තු වලින් නොනැවතී රට පුරා ඉදිරි අවුරුද්ද පුරා රැගෙනය යන්නට බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම ඉදිරියට ප්‍රදර්ශනය වෙන නාට්‍ය වෙනස් කරමින් මෙම නාට්‍ය උළෙලේ අදහස ඉදිරියට ගෙන යන්න බලාපොරොත්තු වෙනවා. නාට්‍යයක් ජනතාව අතරට යන්න පුළුවන් වෙන්නෙ හුදු ජනප්‍රිය රැල්ලට නාට්‍ය සැකසුණොත්ය කියන මතවදායට ප්‍රතිමතවාදයක් හැටියට තමයි මෙම උළෙල ඉදිරියට යන්නෙ. 

මෙවැනි උළෙලක අද දවසේ ඇති වැදගත්කම මොකක්ද?

නාට්‍යකරුවො විදිහට අපි මුහුණ දෙන ප්‍රශ්න රැසක් තියෙනවා. එකක් තමයි විශේෂයෙන්ම ලංකාව් තරුණයන්ගෙ නාට්‍ය කලාව තියෙන්නෙ රාජ්‍ය නාට්‍ය උළෙල හෝ යොවුන් නාට්‍ය උළෙල මතයි.  ඊට වෙනස්ව නාට්‍ය වර්ගයක් තියෙනවා. ඒවා අපි දුවන නාට්‍ය කියලා හඳුන්වනවා. දුවන නාට්‍ය කියලා කියන්නෙ ගම්දනව් වලට ගිහිල්ලා හැමතැනම පෙන්නන නාට්‍ය වලට. මේ දුවන නාට්‍ය වලට අදාල වෙනම ලක්ෂණ ටිකක් තියෙනවා. උදාහරණයක් විදිහට ජනප්‍රිය නළු නිළියන් භාවිතා කිරීම, මතුපිට හාස්‍ය රසය වගේ කාරණා ලංකාවේ දුවන නාට්‍යයකට අත්‍යවශ්‍යයි.  ඇත්තටම මෙබඳු ලක්ෂණ විශිෂ්ට නාට්‍ය කෘතියක මට්ටම මනින මිනුම් නෙමෙයි. ඉතින් මෙවැනි මිනුම නැති විශිෂ්ට නාට්‍ය එක්තරා තැනකට පමණක් හිරවෙනවා. මේ තත්වය යම් තරමකට හෝ විසඳීමට මෙවැනි නාට්‍ය උළෙලකට හැකි වෙනවා කියලා හිතෙනවා.

අනිත් කාරණේ තමයි තරුණ නාට්‍යකරුවො තමන්ගෙ නාට්‍ය වලට විශාල මහන්සියක් දරලා, විශාල ශ්‍රමයක් කැපකරලා නාට්‍ය නිෂ්පාදනය කරනවා. නමුත් මෙම නාට්‍ය වල පැවැත්ම තීරණය වෙන්නෙ ඒ අයගේ මුදල් හැකියාව මතයි. මුදල් ඉවර වෙන්නෙ කොතනින්ද, නාට්‍යය ප්‍රදර්ශනය වීමත් එතනින් නතර වෙනවා. නමුත් එම නාට්‍ය වෙනුවෙන් කැපකරන ශ්‍රමය සාමාන්‍යයෙන් අවුරුද්දක් හෝ එකහමාරක් පුරා දිවෙනවා. එබඳු ශ්‍රමයක් නාට්‍ය දර්ශන දෙකකින් පමණ අවසන් වෙනවා කියන්නෙ විශාල අපරාධයක්. ඒ නිසා එම නාට්‍යයේ වටිනාකමට සාපේක්ෂ දර්ශන වාර සංඛ්‍යාවක් අත්‍යවශ්‍යයි. ඉතින් මෙවැනි උළෙලක් මගින් එබඳු වූ මහන්සියකට වටිනාකමක් ලබා දෙනවා.

මෙම උළෙලේ ප්‍රදර්ශනය වීමට නියමිත ‘සංඝදාසගේ චූටි කලිසම’ නාට්‍ය පිළිබඳව කතා කළොත්?

Sangadasage Chuti Kalaisama 01

සරලව ගත්තොත් මේ වෙලාවෙ සේවාවන් අත්පත් කරගන්න ගියාට පස්සෙ මිනිස්සු මුහුණ  දෙන ඛේදාන්තය මෙම නාට්‍ය තුළ සාකච්ඡා වෙනවා. ලංකාව අපි හඳුන්වන්නෙ සුබසාධන රාජ්‍යයක් කියලනෙ. ඉතින් සුභසාධන රාජ්‍යය තුළ මිනිසෙක් සේවාවන් අත්පත් කරගැනීමට යෑමේදී ඒ මිනිසාට පෙරලා රාජ්‍යය විසින් ඇතිකරන පීඩනය මෙහිදී මතු කෙරෙනවා. සංඝදාස කියන ගැමි චරිතය සහ හෙදියක් අතර ඇති වන නාට්‍යමය සිදූවීමක් මෙම නාට්‍ය වටා ගෙතෙනවා. ඉතාම පහළ මට්ටමේ සෞඛ්‍ය සේවයක් බලාපොරොත්තුවෙන් යන මිනිහා අවසානයේ අපරාධකාරයෙක් බවට පත්වෙනවා. මාධ්‍ය, පොලීසිය, වැඩවර්ජන සහ වෘත්තීය සේවක සමිති කියන සියලූ දේවල් පෙරලා රාජ්‍ය යාන්ත්‍රණය ශක්තිමත් කරන්න කොහොමද කියන දේ නාට්‍ය තුළ මතු වෙනවා. මෙම නාට්‍ය තුළ තිඛෙන්නෙ ප්‍රහසන ආකෘතියක්. නමුත් මේක හුදු ප්‍රහසනයක් නෙමෙයි. ‘සංඝදාසගේ චූටි කලිසම’ කියලා කියන්නෙ රුදු ප්‍රහසනයක් (Black Comedy).  අපි හැමෝම මුහුණදෙන රෞද්‍ර කතන්දරය තමයි මේක ඇතුළෙ තියෙන්නෙ. හිනා යන්න පුළුවන්, හිනා ගියත් ඒ තුළ තියෙන්නෙ අපි කාටවත් හිනා වෙන්න පුළුවං දෙයක් නෙමෙයි. මේ මොහොත වනවිට ලංකාවේ ආයතන පද්ධතියේ අසාර්ථකභාවයත් හා පුරවැසියාගේ අර්බුදයත මෙහිදී මතු කරන්න උත්සාහ කරනවා.

සංඝදාස කියලා කියන්නෙ මේ මොහොතේ සිටින ලාංකීය මිනිසාට. ඉතිං සංඝදාසගේ චූටි කලිසම අහිමි වීමෙන් පස්සෙ මිනිහා නිරුවත් වෙනවා. මිනිහෙකුගෙ ඇඳුම් උනාගෙන, උනාගෙන ගියාට පස්සෙ අන්තිමට ඉතුරු වෙන්නෙ මේ චූටි කලිසම. ඒකත් අහිමි වෙනවා.

‘මෙය තුවක්කුවක් නොවේ’, මොකක්ද මේකෙ අදහස?Meya Thuwakkuwak Nove 02

මෙය තුවක්කුවක් නොවේ නාට්‍යයේ පදනම සමාජ අනාරක්ෂිත්භාවය, පශ්චාත් යුධ වාතාවරණය තුළ අපි හරි ආරක්ෂිත සමාජයක් කියලා හැමෝම විශ්වාස කරන්න පටන් ගත්තා. යුද්දේ අවසානයත් සමග සියලූ දේ සාමකාමී වෙයි කියලා සමාජීය විශ්වාසයක් තිබුණා. නමුත් මෙම ඊනියා විශ්වාසය, එහෙමත් නැතිනම් පලූදු වූ විශ්වාසය පිළිබඳව ‘මෙය තුවක්කුවක් නොවේ’ නාට්‍ය තුළ සාකච්ඡා කිරීමට උත්සාහ ගන්නවා.  අනිත් පැත්තෙන් ආගම මිනිස්සුන්ගෙ ජීවිත නිර්දේශපාලනය තුළ ගාල් කරන්නෙ කියන කාරණාව මෙහිදී මතු කරන්න උත්සාහ ගත්තා. එක් පැත්තකින් සමාජ අනාරක්ෂිතභාවයත්, ඊට එරෙහිව වීම ඇති අවකාශය නිර්දේශපාලනික කරන ආගමික දෘෂ්ටිවාදයත් නාට්‍ය තුළ අපූරු රටාවක් මවනවා.

දෘෂ්ටිවාදයට භෞතික පැවැත්මක් තියෙනවා කියන කාරණය ලුවී අල්තුෂර් කියන දේශපාලන න්‍යායවේදියා “Lenin and Philsophy” කියන කෘතියෙදි මතුකරනවා. ඉතින් නාට්‍ය තුළ භෞතිකව තුවක්කුවක් තියෙනවා. ඒ කියන්නෙ රාජ්‍ය මර්ධනය පැහැදිලිවම පේනවා. නමුත් හැබැයි අපේ දෘෂ්ටිවාදය හදල තියෙන්නෙ මේක තුවක්කුවක් නෙවෙයි කියලා. දෘෂ්ටිවාදය විසින් මර්ධනය සාධාරනීයකරණය කිරීම කියලා කියන්නෙ ‘මෙය තුවක්කුවක් නොව්’ කියන නාට්‍යයක් තවත් නමක්.

‘What a Nice Couple’ කියන්නෙ තවත් ප්‍රේම කතාවක්ද?whatanicecouple

මේ  කාලෙ ඔබ Facebook එකේ බොහෝ අලුත කසාද බැඳපු, එහෙමත් නැත්තම් තරුණ පෙම්වතුන්ගේ ලස්සන ඡායාරූප අපි දකිනවා.  ඒව දැක්කම අපිට හරි ලස්සන ජීවිත පේනවා. ලස්සන පෙම්වතුන් දකිනවා. හරි ලස්සන විවාහක ජෝඩු දකිනවා. ඉතිං අපිට මෙහෙම පේන පුදුමාකාර ලස්සන කපල් වලට ‘What a Nice Couple’ වගේ කමෙන්ට්ස් අපි දානවා. ලස්සනට කනබොන, ලස්සනට යන එන, ලස්සනට ජීවත් වෙන, ලස්සන හෝටල් වල සතිඅන්ත ගතකරන, ලස්සන කාර් වල ෂොපිං යන ජෝඩු අපි අනන්තවත් දකිනවා. ‘What a Nice Couple’ කියන්නේ මෙවැනි ජෝඩුවකගේ නිවසක බිත්තියක් තුළින් ඔවුන්ව විනිවිද දකින මොහොතක්. ඒක ඇතුලෙ අපිට ප්‍රශ්න කරවන මොහොත තමයි මේ ලස්සන ඇතුළත කොච්චර ලස්සනද ?ඇතුළත තියෙන ගැටළු පිටතට ඇත්තටම පේනවද ? පිට සහ ඇතුළත අතර තියෙන පරස්පරය මොකද්ද ?

අපි ජීවත් වෙන ධනේෂ්වර ක්‍රමය ඇතුළෙ අපිට කරන්න වෙලා තියෙන රැකියා සහ එම රැකියා ඇතුළෙ අපේ පුද්ගලික පෞර්ශයන් ගොඩනගාගන්න සිද්ධ වෙලා තියෙන සීමාවන් ඇතූළෙ මේකෙන් ගොඩ යන්න, මේකෙ කට්ට කන්න, මේකෙ කොඩිය ගහන්න මිනිස්සුන්ට දාහක් දේවල් කැප කරන්න වෙනවා. මං හිතන්නෙ මිනිස්සු වැඩියෙන්ම කැපකරලා තියෙන්නෙ ආදරය. මං හිතනවා මේ සමාජය දැඩි සේ ආදරය අපයෝජනයට ලක්වෙච්ච සමාජයක් කියලා. තමන් රස්සාව කරන තැන, තමන් ඉගෙන ගන්න තැන, සමාජයත් එක්ක සම්බන්ධතා පවත්වන හැම මොහොතකදිම අපි අපේ ආදරය අපයෝජනයට ලක් කරගන්නවා. ඉන් පසුව ඇතිවෙන වේදනාවේ වින්දිතයෝ විදිහට තමයි අපි මේ සමාජෙ ජීවත් වෙන්නෙ. ‘What a Nice Couple’ ඒ අය ගැන කතා කරන කතාවක්. 

Facebook Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *