මාධ්‍ය විකිණීමට තිබේ…

මාධ්‍ය විකිණීමට තිබේ…

- in Social
3895
2

ජාලිය, ක්‍රිෂ්ණජිනා තම දරු දෙදෙනා දන් දී දාන පාරමිතාව සම්පූර්ණ කරගත් වෙසඟු රජ හිසද දන් දී ප්‍රාර්ථනා කලේ කුමක්ද? සංසාරයේ සැරිසරන විට ලෙඩ රෝග හා අතුරු අන්තරා වලට හසු වී තම දරුවන් නැති වෙලා වියෝ දුකට පත්වූ සහස්‍ර සංඛ්‍යාත පුහුදුන් ජනයාගේ හිතේ දුකට සෙතක් සලසන්නට පුළුවන් නම්, තමන්ගේ දරුවන් වුවද දන් දීමට වෙස්සන්තර රජු පෙළඹුනේ යහපත් අරමුණකිනි. ඒ උදාර පරිත්‍යාගය කලේ ලොව්තුරා බුදු බව ලබන්නට නොවේද? අතීතය එය වුවද…

 

වර්තමානය හා අනාගතය කෙබදුද? දැනුත් වෙස්සන්තරලා සිටී. මේ වෙස්සන්තරලා දන් දී ලබන්නේ කුමක්ද? බලාපොරොත්තු වන්නේ කුමක්ද? ලබන්නේ තෘප්තියද? බලාපොරොත්තු වන්නේ ප්‍රසිද්ධියද? ඇත්තටම මෙය රටටම බලපාන විශාල ප්‍රශ්නයකි. ඒ වාගේම මෙය විහිළුවකි. ගුවන් විදුලි යන්ත්‍රයේ කොපමණ නාලිකා ඇතිද? අපට අසන්නට ලැබෙන නාලිකා කොපමණද කියා ඔබට මට කිව හැකිද?  රූපවාහිනියට හිමි වන්නේද ගුවන් විදුලියට හිමි තැනමය. නාලිකා ගණන් කිරීමට තරම් බැරිය. මේ අතර සියලුම නාලිකා කරන්නේ අරගලයකි. තමන්ගේ මාධ්‍ය ජාලය මාධ්‍ය අතර පළමුවැනියා කර ගැනීමට දරන්නේ පුදුම දුකකි. ඕවා බලා සිටින අපටද දැනෙන්නේ ඊටත් එහා ගිය දුකකි.

ගුවන් විදුලිය හා රූපවාහිනිය මාධ්‍ය තිබිය යුත්තේ කුමකටද කියා ඔබෙන් ඇසුවහොත්, උත්තරය කුමක් විය හැකිද? සමාජ සත්කාරය, ආදර්ශය, සන්නිවේදනය හා සමාජයට සේවය නොවේද? දැන් TV-FM නාලිකා දෙස බැලුවොත් අපට හැ‍‍‍‍‍‍‍‍‍‍‍ගෙන්නේ, නාලිකා අතර ඇති තරඟකාරිත්වය පමණයි. එකාට එකා පරයා යාමේ කලාව මොවුන් හොදින් ප්‍රගුණ කර ඇත. ගණන් කිරීමට බැරි තරමේ නාලිකා ඇතත්  අපේ රටෙ හැමෝම මූලික වන්නේ ප්‍රසිද්ධිය ලබන්නටයි. මොනයම් හෝ දෙයක් කරන්නට පෙළඹෙයි. නවතම ප්‍රවණතාවය වන්නේ මුදල් බෙදීමයි. කිසිම අංගප්‍රලාවක් නැතුව මිනිසුන්ට මුදල් බෙදන අපේ රට කොපමණ දියුණුද? දැන් මුදල් හම්බ කිරීමට මහන්සි විය යුතු නැත. පාරේ යනකොට නාලිකාවේ නම කිව්වම ඔබට අත පිරෙන්න සල්ලි ලැබෙනු ඇත. එය කිනම් ආශ්චර්‍යක්ද?

 

Forged-Notesපන්සලද, පල්ලියද, කෝවිලද, කඩපොලද, උපකාරපන්තියද වේවා සාමාන්‍ය ඔබ අප ගැවසෙන තැන් නොවේද? මෙවැනි තැන් වලට නාලිකා වලින් යන්නේ ඉතා ආදර බරවයි. ඔබ අහන්නේ මොන FM එකද, මොන TV චැනල් එකද කියා අහන්නේ අතේ සල්ලි තබාගෙන මායාවන් පෙන්වමිනි. සමහර වෙලාවට තමා අසන බලන නාලිකාව ලගසිටින කෙනාගෙන් අසා කියන්නට තරම් මිනිසුන් අතරමන් වී ඇත. මුදල් පසුපස හබා යන මොවුන් තව කෙනෙක් කියන දේ කියන්නට පවා පෙළබී ඇත.  ඇත්තටම මේ පෙන්වන හැම කෙනාම අහන්නේ, බලන්නේ ඒ ඒ නාලිකාව නම් කම් නැත. දහපහලොස් දෙනෙක් තෝරාගෙන ඔවුනට මුදල් දී තමන්ගේ නාලිකාවේ නම කියා ගන්නට තරම් අපේ විදයුත් මාධ්‍යය දුර්වලද, අසරණද?

 

පන්සලට, පල්ලියට, කෝවිලට යන්නේ අපි අදහන ආගම , දහමට ගෞරවයක් දක්වමිනි. උපකාර පන්තියට දරුවන් යන්නේ උගෙන ගැනීමටය. නමුත් මාධ්‍ය ඒවා අසලට  යන්නේ ඔවුන්ගේ අභිමතාර්තයන් මුදුන් පමුනුවා ගැනීමට නොවේද. මිනිසුන් පාරේ යන්නේද, අද මොන චැනල් එකෙන් එයිද දන්නේ නැහැ  කියා සිතමින් නොවේද. තමන්ගේ මාධ්‍ය ඉදිරියට ගෙනයාම හොදය. නමුත් එය කොයි ආකාරයෙන් දැයි සිතිය යුතුය. ඔහේ දෙන්නන් වාලේ සල්ලි මිටි ගනන් දිම නොව, තමන්ගේ නාලිකාව සැමටම වඩා ඉදිරියෙන් දැකිමට ආසා නම්, හැමෝම තමන්ගේ චැනල් එක කියා කීමට නම්,  මීට වඩා විධිමත් ආකාරයට මාධ්‍ය ප්‍රචාරණයක් කල යුතුව ඇතැයි සිතමි.

 

බෝඩ් කෑල්ලක චැනල් එකේ නම ගසා ගේ ඉස්සරහා එල්ලුවට, මුලු ගමට ඇහෙන්න රේඩියෝව දමා තිබුනට, කන් අඩි පැලෙන තරමට ත්‍රිරෝද රථයේ, බස් එකේ මහ හයියෙන් දමාගෙන ගියාට, රෑට ගෙදරට එනකෙට එන මාධ්‍යයේ චැනල් එකක් බලන අයට මුදල් තෑගි දෙනවා වෙනුවට වැදගත් දෙයක් ඔබට කරන්න පුළුවන් නම් එයයි අපි දකින ගෞරවවත් මාධ්‍යය. ලංකාවේ කොපමණ දුෂ්කර පලාත් තිබෙනවාද? ඒ පළාත් වල අසරණ දරුවෝ කොපමණ සිටිනවාද? රේඩියෝව කියන යන්ත්‍රය දැකලා නැති අය කොපමණ ඇත්ද? ඒ දරුවො වෙනුවෙන් ඇදුමක්, සපත්තු කුට්ටමක්, පොත් හෝ පෑන් සාමාන්‍ය පෙළ උසස් පෙළ වගේ විභාග ලං වන විට විද්වත් ගුරුමඩුල්ලක් සමග සම්මන්ත්‍රනයක් පවත්වන්නට හැකිනම්, ඒ වගේම හොදින් ඉගෙන ගැනීමට හැකි දරුවන් දෙතුන් දෙනෙක් තෝරා උසස් අධ්‍යාපනය තෙක් ඔවුනට උදවු කරන්නට ඔබට හැකි නම් එයත් සත්කාරයකි. එහෙමත් නැතිනම් නිකන් සල්ලි දෙන්නට පෙර අහන්නේ මොන චැනල් එකද අහන්නේ නැතුව සාමාන්‍ය දැනී‍මේ ප්‍රශ්නයක් වත් අසා හරි උත්තරය දුන්නොත් පමණක් මුදල් දෙන්නේ නම් එය සාධාරණ යැයි සිතමි.

 

ඔබ යම් කිසි උපකාරයක් කලේ නම් ඒවා පටිගත කර TV චැනල් එකේ FM නාලිකා වල පෙන්වන්න,  අසන්නට සලස්වන්න එතකොට ඔබේ නාලිකාව ලංකාවේ එක වෙයි නිසැකින්ම. ලංකාවේ එක වෙන්න පුලුවන් ඔබ යමක් කලොත් පමණයි. සුනාමි ව්‍යසනය, ගංවතුර, රටේ ඹ්නෑම ආපදාවකදී අපේ සියළුම මාධ්‍යයන් කොපමණ ආදර්ශයක් ලොවට පෙන්වුවවද? එතකොට ඔබ මුදල් දුන්නේ නැහැ නේද?  ඒ එබේ වගකීම ඉටුකල නිසා නේද? හොද දෙයක් කලොත් ඔබට පළවෙනියා වීමට පුළුවන. එක මාධ්‍යය ජාලයක් පෙරමුණ ගෙන හොද දෙයක් කලොත් ඒ හොද රැල්ලට අනිත් සියළුම මාධ්‍යයන් අසුවේවි.  ඒ රැල්ල  තේරුමක් නැතිව හැල්මේ දුවන රැල්ලක් නොවේවි. ඒ රැල්ලට මුළු මහත් ජාතියම ගෞරවය කරාවි. එතකොට ඔබේ නාලිකාව මාධ්‍යය අතර හොදම, සෑම දෙනාම බලන, සෑම දෙනාම අසන නාලිකාව බවට පත්වේවී. නත්තල් සීයා ඇවිත් තෑගි බෙදනවා වාගේ සල්ලි නොදී, ඔබ මාධ්‍ය්‍ය ආයතනය හාසයට හා සමච්චලයට ලක් නොකර හරි දෙයක් කරන්න.

 

තම දරු දෙදෙනා වු ජාලිය, ක්‍රිෂ්ණජිනා දන් දී තම හිසද දන් දී විමුක්තිය සොයා ගිය වෙස්සන්තර රජතුමා බුදුබව ලබා ලෝකය සුවපත් කල සේක.

හොද දේ සෑම විටම හොදය, නරක දේ සෑම විටම නරකය.

හිස දන් දෙන්න ඔබ වෙසඟු නොව
දරැවන් රැගෙන යන බමුණා ඔබද නොව
විමුක්තිය නොව ඔබ ප්‍රසිද්ධිය සොයන
මිනිසුන්ගේ මනස විකෘති නොකර
ආදර්ශය දිය හැකිය නිසියාකාරව……
හරිදේ හරියාකාරව නිසිදේ නිසියාකාරව
කළහොත් ඔබ මාධ්‍ය
වැජඹෙයි පළමු තැන……
අසන්නේ බලන්නේ මිනිසුන් මිස
දකින්නේ ඇසෙන්නේ අරුතක් නැති විලස
දෙයක් දිය යුත්තේ සුදුස්සාට මිස
දෙන්නම් වාලේ නොවන වග
දැන නොසිටියාද ඔබ….
සුදුස්සා සොයනු වස්
නුසුදුස්සා සොයා ගොස්
නොදෙනු මැන කිසිවක්
දිය යුතු දෙයක් ඇතොත්
දෙන්න නොපිරිහෙලා
සිතින් නිදහස්
සුදුසු දේ සුදුස්සාටම…..

 

By මිආ

Facebook Comments

2 Comments

  1. Good article….

  2. wimal wijeyananda

    Good idea

Leave a Reply

Your email address will not be published. Required fields are marked *