ලොවම දිනූ ගායකයකු වූ කරණවෑමියා

ලොවම දිනූ ගායකයකු වූ කරණවෑමියා

- in All, Social
192
0

ජීවිතයේ බොහෝ දේවල් මිනිසුන් බලාපොරොත්තු වුවත් එම බලාපොරොත්තු මල්ලෙන් සැබෑ කර ගන්නා බලාපොරොත්තු ඉතා අඩුය. එම බලාපොරොත්තු ඔබ සිතේ සිහින සිතුවම් ලෙස පවතී. මෙම සිහින ඉබේ සැබෑවන්නේ නැත. එම සිහින සැබෑ කර ගැනීමට කැප කිරීම් කළ යුතුය. එසේම විවිධ අභියෝග වලට පවා මුහුණ දීමට සිදුවේ. ඔබ ආශා කරන හා කැමති දේවල් විකිණිමට ඇති තැන් වලින් මිලට ගත හැකිය.

එනම් ස්වර්ණාභරණ, ඇඳුම්, ඉඩම්, වාහන ආදිය ඔබට මිළදී ගතහැකි නමුත් ඔබට අවශ්‍ය වුවත් විකිණීමට තබා නොමැති මිලකළ නොහැකි දේවල්ද පවති. එනම් ආදරය, කරුණාව, මෛත්‍රිය, සිහින, සබදතා, සතුට, අවංක යහළු මිත්‍රාදීන් එසේ මුදලට ලබාගත නොහැකිය. අප ජීවිත සාර්ථක කර ගැනීමට මෙම වර්ග දෙකම අත්‍යවශ්‍ය බව අපට වටහා ගත හැක.

ඔබ තුළ කොපමණ දක්‍ෂතා හා හැකියාවන් පැවතුනත් එම දක්‍ෂතා හා හැකියාවන් දැක ඔබව යමෙකු දිරිමත් කිරීමක් හෝ අදාළ තැන් වලට යොමු කිරීමක් කළ යුතුය. එසේ දිරිමත් කිරීමක් හෝ යොමුකිරීමක් නොවුනේ  නම් දක්‍ෂයාට කිසිදු දිනක දක්‍ෂතාවන්ගෙන් ප්‍රයෝජන ගැනීමට ඉඩක් නොලැබේ. ඔබත් ඔබ ගැන සිතා බලන්න, ඔබ දක්‍ෂයකු නම් ඔබට කිසිදා සැඟව සිටිය නොහැක. ඔබව ලෝකය හඳුනාගෙන වටිනා කමක් ලබාදේ. වටිනාකම ඔබ බලෙන් ලබා ගැනීමට අවශ්‍ය නැත. ලෝකයම එම වටිනාකම ලබා දෙනවා ඇත.

ඉන්දියාවේ ඈත ගමක එතරම් අධ්‍යාපනය නොලැබු තරුණයෙක් විය. ඔහුගේ නම මොහොමඩ්ය. මෙම තරුණයාගේ වෘත්තිය වූයේ කොණ්ඩා කැපීමයි. ඔහු අන් අයගේ කොණ්ඩය කැපීමේදි එය කරදරයක් ලෙස නොසලකා තම පාරිභෝගිකයාව උපරිම තෘප්තියට පත් කරමින් සේවාව ලබා දෙන ලදි. ඔහුගේ දින චර්යාවේ සුවිශේෂි බව වුයේ පාරිභෝගිකයාගේ කොණ්ඩය කපන අවස්ථාවේ ඔහු සිහින් හඬින් ගීත මුමුණමින් තම රාජකාරිය සිදු කිරීමයි. එමගින් ඔහුද ප්‍රීතියෙන් තම රාජකාරිය සිදු කරන අතර පාරිභෝගිකයාද ඉන් යම් මානසික සුවයක් ලබයි. එවැනි අය වෙත නැවත නැවත පැමිණිමට පාරිභෝගිකයාද වැඩි රුචියක් දැක්වීම පුදුමයක් නොවේ. දිනක් අළුත්ම පාරිභෝගිකයෙකු මොහොමඩ් වෙතට පැමිණියේ කොණ්ඩය කපා ගැනීම පිණිසය. එම පාරිභෝගිකයා හමුවේද තම පිළිවෙත වෙනස් නොකළ මොහොමඩ් ගීයක් රසට මුමුණමින් කොණ්ඩය සැකසීම සිදු කරන ලදී. කොණ්ඩය කපා අවසානයේ ගනුදෙනුකරුවා මොහොතක් මොහොමඩ් සමඟ දොඩමළු විය. එහිදි ගනුදෙනුකරු ඔහුව හදුන්වා දුන්නේ තමා ඉන්දියානු ගුවන් විදුලි ආයතනයේ ප්‍රධානියෙකු බවත් මොහොමඩ්ගේ මිහිරි කටහඬ ඇසීමෙන් තමා ඉතා සතුටට පත්වූ බවත් කියමිනි. ආගන්තුක ගනුදෙනුකරුවා එදින නික්මී ගියේ තම ලිපිනය මොහොමඩ්ට ලබාදෙමින් ඉක්මණින් පැමිණ තමා හමුවන ලෙසත් දන්වා සිටිමිනි. ලැබුණු අවස්ථාව පැහැර නොහැරිය මොහොමඩ් ලද ඇසිල්ලකින් ගුවන් විදුලි සංස්ථාව වෙත ගොස් තම  ආගන්තුක ගනුදෙනුකරුවාව මුණ ගැසුණේය. එහිදී මොහොමඩ්ට  කටහඬ පරික්ෂණයකට පෙනීසිටීමේ භාග්‍ය උදා විය. එම කටහඬ පරික්ෂණයෙන් ඔහු ඉතා ඉහලින් සමත් වී තිබිණි. එය ඔහුට සේම ඔහුගේ පවුලේ අන්‍යන්ටද සතුටු ආරංචියක් විය.

එම සතුටු ආරංචියත් සමඟ ඔහුගේ ජීවිත ගමනේ වෙනස්කම් රාශියක් සිදුවුනි. එනම් ඔහුට ගුවන් විදුලියේ ගීත ගායනයට ඉඩ ප්‍රස්ථා උදා වුනි. කාලත් හා සමඟ ක්‍රමයෙන් මොහොමඩ් ප්‍රසිද්ධ ගායකයකුගේ තත්වයට පත්විය. ඔහු ගැයූ සෑම ගීතයක්ම පාහේ අතිශය ජනාදරයට පාත්‍රවිය. අදවන විට ඔහු මියගොස් තිබුණද හෙට බිහිවන පරපුරේද ජනාදරයට පාත්‍රවන තරමේ ඔහුගේ නාමය නොමියෙන නාමයක් බවට පත්කර හමාරය. ඔහු අන් කවරකුවත් නොව ලෝකප්‍රකට ගායන ශිල්පියකු වූ මොහොමඩ් රාෆිය. මොහොමඩ් යන නම අපට ප්‍රසිද්ධ නාමයක් නොවුවත් මොහොමඩ් රාෆි යන නාමය ලෝක පූජිත නාමයකි. මෙම ලෝක පූජිත මොහොමඩ් රාෆිගේ ඉතා සුන්දර ගීත ඔබ අද සේම හෙටද රස විදිනවා නොඅනුමානය.

මෙලෙස ඔහු ඔහුගේ ජීවිත ගමන් මාර්ගය සම්පූර්ණයෙන්ම වෙනස්කර ගනු ලැබුවේ තම නිසඟ හැකියාවන් තම රැකියාව කරන අතරතුර හෝ අන් අයට ඇසීමට සැලැස්වීමෙනි. ඔබත් මේ මොහොතේ සිටම අද සිටම ඔබ නිසැඟ හැකියාවන් මොනවාදැයි හදුනා ගන්න. හදුනාගත් එම හැකියාවන් පැත්තකට කර නොතබා එදිනෙදා ජීවිතයට භාවිතා කරන්න. ඔබගේ එම නිසඟ හැකියාවන් අන් අය හදුනාගන්නවා නොඅනුමානය. එම නිසඟ හැකියාවන් ඔප්නංවා ගැනිමෙන් ඔබට ඔබගේ ජීවිතය සුවිශේෂි වු මානයක් කරා රැගෙන යාමට හැකිවෙනවා ඇත. මේ දැන් පටන් ඔබගේ ජීවිතය වෙනස් කර ගනිමින් නව ජීවිත ඉලක්කයක් කරා ගමන් කිරීමට සැලසුම් කරගන්න.ක්‍රියාත්මක කරන්න පසුවිපරමක් සිදු කරන්න. එමගින් ඔබේ වටිනා ජීවිතයට සශ්‍රීකත්වය ලං කරගන්න. අවසානයේ එහි ප්‍රතිඵලය ඔබ පවුලට, ගමට, රටට, ලෝකයටම ඉතා යහපත් තත්වයක් උදාකරනවා නොඅනුමානය. මේ මොහොතේ සිට ඔබ දක්ෂතා හැකියාවන්, විනොදාංශයන් හදුනා ගන්න. ඒවා ප්‍රගුණ කරන්න.

ආචාර්ය ප්‍රේමසිරි ගමගේ
සභාපති – ව්‍යාපාර සංවර්ධන කේන්ද්‍රය

Facebook Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *