සර්පයන් අතුරින් සාන්තුවරයන් තේරීම

සර්පයන් අතුරින් සාන්තුවරයන් තේරීම

- in All, Politics
164
0

ඉකුත් පෙබරවාරි මස අගදී පාර්ලිමේන්තුව විසිරුවා හරිනු ලැබීය. විදේශයකින් අප රට ආක්‍රමණය කළ කොරෝනා භීතිය නොවන්නට මේ වන විට මැතිවරණ උණුසුම අවසන්ව නව පාර්ලිමේන්තුවක් පත්ව ඇත.

කොරෝනා බාධකය මධ්‍යයේ වුවද නාමයෝජනා භාරගැනීමේ කටයුතු මැතිවරණ කොමිසම විසින් සාර්ථකව සිදුකර ඇත. වසංගතය නිසා මැතිවරණය පවත්වන දිනය කල් දමනු ලැබූ අතර මැතිවරණ ප්‍රචාරණ කටයුතු, රැළි ආදියට තහංචි වැටිණ. එහෙත් තත්වය සමතයකට පත්වූ කල්හි සියලුම පක්ෂ තම අපේක්ෂකයන් ජයග්‍රහණය කරවීම සඳහා සෑම ප්‍රයත්නයක්ම යොදවනු නොඅනුමානය.

මෙවර දැකිය නොහැකි වුවද සාමාන්‍යයෙන් ජනතාවද තමාට හැකි ආකාරයෙන් ක්‍රියාකාරී දේශපාලනයේ නියුක්ත වන අවස්ථා සුලබ ය. ඇතැම් පුද්ගලයන් තමා සහාය දෙන දේශපාලන පක්ෂය වෙනුවෙන් ප්‍රචාරණ කටයුතු සිදු කරමින් සහ රැළි වලට සහභාගී වෙමින් තෘප්තියක් ලබයි. සමහරු කලකෝලාහල පවා ඇති කරගනිති. ඔවුන්ගෙන් සමහරෙක් මෙම කටයුතුවලට සහාය දෙන්නේ තම පවුලේ කටයුතු, දරුවන්ගේ අවශ්‍යතා පමණක් නොව රැකියා කටයුතු ද අතපසු කරමිනි. මැතිවරණ කාල සීමාව නාටකයක් රඟ දක්වන අවදියක් යැයි සිතීමේ වරදක් නැත.

දේශපාලනය පිලිබඳ නන් අයුරින් උනන්දු වන සහ සහාය දෙන පිරිස් අතර දේශපාලනය පිලිබඳ විවිධ මත පලකරන තවත් පිරිස් ද සිටිති. විද්වතුන් සහ ආගමික නායකයන් එම පිරිසට අයත් වේ. එවැනි පාර්ශව විසින් ඡන්දදායකයින් වෙත නිරන්තරයෙන් ලබාදෙන උපදේශය නම් සුදුසු පුද්ගලයන්ට මනාපය පලකරන ලෙසයි.

මෙහිදී සුදුසු පුද්ගලයා නීර්ණය කරගන්නා මිණුම්දණ්ඩ කුමක්ද යන්න ගැටළු සහගතයි. එය උගත්කමද, පළපුරුද්දද, රාජ්‍ය පාලනය පිලිබඳ ඇති අවබෝධයද, සංවර්ධනය පිලිබඳ ඇති දැනුවත්භාවයද, සමාජයේ පිළිගත් තැනැත්තෙක් වීමද එසේත් නැතිනම් චරිතය යහපත් වීමද යන්න පැහැදිලිව දැක්වීම අවශ්‍ය වේ.

මෙහිදී අප අවබෝධ කරගත යුතු කරුණක් වන්නේ ශ්‍රී ලංකාවේ ඇති දේශපාලන සංස්කෘතිය කුමන අයුරකින් හැඩගැසී ඇත්ද යන්නයි. ශ්‍රී ලංකාවේ ඇත්තේ මැතිවරණය කේන්ද්‍ර කරගත් දේශපාලන ක්‍රමයකි. එනම් බලය ලබාගන්නේ වැඩ කිරීමට නොව, වැඩ කරන්නේ මැතිවරණය ජයග්‍රහණය කොට බලය ලබාගැනීම උදෙසා ය. මැතිවරණ සමයේදී මිනිසුන්ට පක්ෂවලින් සහ අපේක්ෂකයන්ගෙන් නානාවිධ ඡන්ද පොරොන්දු ලැබේ. ඉන් බහුතරක් හුදු පොරොන්දු විනා කිසි කලෙක යථාර්ථයක් නොවේ.

ශ්‍රී ලංකාවේ ඡන්දදායකයින්ගෙන් බහුතරයක් වූ ආර්ථික දුෂ්කරතා වලින් පීඩිත ජනයා හට ආර්ථික ප්‍රගමනය, තිරසාර සංවර්ධනය ආදී වූ ගැඹුරු ආර්ථික සංකල්ප ගැන පුළුල් අවබෝධයක් තිබේයැයි සිතිය නොහැක. ඔවුන් විසින් මනාපය ලබා දීමේදී මෙවැනි සංකල්ප සැලකිල්ලට භාජනය නොවේ. මගඩි දේශපාලඥයාගෙන් වුව ද තම ගැටලුවලට පිළිසරණක් ලැබීම ඔවුන්ගේ අපේක්ෂාවයි.

දේශපාලඥයන් විසින් හෝ පක්ෂ මඟින් රටේ දිගුකාලීන සංවර්ධනය සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සැකසෙන්නේ හෝ ඒ පිළිබඳව ජනතාව දැනුවත් කරන්නේ හෝ නැත. ඒ වෙනුවට සිදු කරන්නේ මිනිසුන් එදිනෙද මුහුණදෙන ආර්ථික ගැටළු ඉස්මතු කරමින් ඒවාට විසඳුමක් ලබාදෙන බවට පොරොන්දු වී මහජන ඡන්දය ලබාගැනීමට උත්සාහ කිරීමයි. ජීවන බරින් පෙලනු ලැබූ ජනයා මනාපය ලබා දෙන්නේ වඩාත් ආකර්ශනීය වූ පොරොන්දු ඉදිරිපත් කළ අපේක්ෂකයාට විනා පාලන තන්ත්‍රය භාරගැනීමට සුදුසු අපේක්ෂකයාට නොවේ. ඒ අනුව පැහැදිලි වන්නේ වැඩියෙන් මිනිසුන් රවටන තැනැත්තාට ඡන්දය පහසුවෙන් ජයග්‍රහණය කළ හැකි බවයි. රටට අවංකව සේවය කිරීමට අපේක්ෂා කරන සද්ගුණවත් දේශපාලඥයාට මිනිසුන් මුලාකළ නොහැකි බැවින් ඔහුට ජනතා ප්‍රසාදය දිනාගැනීම අපහසු කාර්යයකි. බොහෝ විද්වතුන් සිදුකරන අයුරින් මෙම ඛේදවාචකයේ දෝෂාරෝපණය ජනතාව මතම පැටවීම සාධාරණ නොවේ. එදා වේල කන්නට නොමැතිව ලතැවෙන පුද්ගලයෙකුගෙන් සංවර්ධන දැක්මක් බලාපොරොත්තු වීම කළුනික සෙවීමක් වැනි ය. මෙහි වගකීම දැරිය යුත්තේ තම වාසිය සලසා ගැනීම උදෙසා ඕනෑම අශික්ෂිත ක්‍රියාවක් කිරීමට නොපැකිලෙන පුද්ගලයන් මැතිවරණයට ඉදිරිපත් කරන පාර්ශවයන් ය. එනම් විවිධ දේශපාලන පක්ෂ සහ ඊට සම්බන්ධ වෙනත් පුද්ගලයින්ය.

දේශපාලන පක්ෂ විසින් රටට අවංක සේවයක් කළ හැකි පුද්ගලයා හට නාමයෝජනා ලබා දෙන්නේද යන්න ප්‍රශ්න කළ යුතු කරුණකි. බොහෝ විට නාමයෝජනා ලැබෙන්නේ ජනප්‍රිය චරිත වලට සහ මැතිවරණ ව්‍යාපාරය සඳහා කෝටිගණන් වියපැහැදම් කිරීමට සුදානමින් සිටින පුද්ගලයන් හට ය. මන්දයත් ප්‍රචාරණ ව්‍යාපාරය ශක්තිමත්ව සිදුකිරීමට හැකියාව ඇති සහ මැතිවරණ කාලසීමාව තුල වැඩි වැඩියෙන් සමාජ සේවා කටයුතු සිදුකිරීමට කොටි ගණන් විසි කලහැකි අපේක්ෂකයා වැඩි ඡන්ද ප්‍රමාණයකින් මැතිවරණය ජයග්‍රහණය කිරීමේ සම්භාවිතාව ඉහළ බැවිනි.

මෙවැනි වාතාවරණයක් යටතේ මැතිවරණයට ඉදිරිපත් වන්නේ බොහෝ විට අයුක්තිසහගත ඉපයීම් තුලින් මඩිතර කරගත් පුද්ගලයන් මිස රටට සැබවින්ම ආදරය කරන සහ රට වෙනුවෙන් යමක් සිදුකිරීමේ පරමාර්ථය පෙරදැරි කරගත් පුද්ගලයින් ද යන්න ගැටලු සහගතයි. ජනතාවට සිදුව ඇත්තේ මෙවැනි පුද්ගලයින් අතුරින් බලය ලබාදීමට සුදුසු පුද්ගලයෙකු තෝරා කතිරය ගැසීමටයි. මෙය ප්‍රයෝගිකව කල හැක්කක් නොවන බව ඕනෑම බුද්ධිමතෙකුට වැටහේ. ගුණාත්මක පිරිස් පාර්ලිමේන්තුවට හෝ පළාත්පාලන ආයතන වලට පත් කර යැවීමට ජනතාවට වගකීමක් ඇති නමුත් ගුණාත්මක පුද්ගලයන් හට නාමයෝජනා ලබා දී මැතිවරණයට ඉදිරිපත් කිරීමේ මූලික කර්තව්‍ය දේශපාලන පක්ෂ සහ වෙනත් වගකිවයුතු පාර්ශව වලින් ඉටුනොවන තාක් සත්පුරුෂයන් පාර්ලිමේන්තුවට යැවීම සිහිනයක් පමණි.

දශක ගණනක් තිස්සේ දේශපාලනයේ නියුක්තව සිටින බොහෝ දේශපාලන චරිත සමාජයේ ප්‍රසිද්ධියක් උසුළයි. ඉතා වයස්ගත වුවද තවමත් එවැනි චරිත පාර්ලිමේන්තුවේ රැඳීසිටිනු දැකිය හැක. එම පුද්ගලයන් සාමාන්‍ය ජනතාවගේ මනස තුළට කා වැදී ඇති බැවින් අලුත් චරිතවලට නොව සුපුරුදු දේශපාලන මුහුණු වලටම ඡන්දය ලැබීමේ ඉඩ ප්‍රස්තාව වැඩිය. පාර්ලිමේන්තුවේ ආසනයක් හිමිකරගන්නා මන්ත්‍රිවරයාද පාර්ලිමේන්තුව නියෝජනය කරන වාර ගණන පිළිබද නීතියෙන් නිශ්චිත සීමාවක්‌ නොමැති බැවින් උත්සාහ දරන්නේ හැකි තරම් කාලයක් තම මන්ත්‍රිධුරය ආරක්ෂා කරගැනීමට ය. එමනිසා පක්ෂ වලටද එම සුපුරුදු දේශපාලඥයන්ට මිස නව පුද්ගලයන්ට නාමයෝජනා ලබා දීමට නොහැකි තත්ත්වයක් ඇති වී තිබේ.

බොහෝ සංවර්ධිත රාජ්‍යවල ක්‍රියාත්මක වන සංවර්ධන ප්‍රතිපත්ති දීර්ඝකාලීන ස්ථිරසාර ඒවා වුවද එම ප්‍රතිපත්ති මෙහෙයවනු ලබන නායකත්වය කලින් කලට මාරු වෙමින් නව පිරිස් දේශපාලනයට ඉදිරිපත් වේ. ඒ අනුව එම රටවල පාලන තන්ත්‍රය නිරතුරුව නව අදහස්, සංකල්ප හා තාක්ෂණයෙන් යාවත්කාලීන වේ. එහෙත් ප්‍රතිපත්ති මාළාවේ සහ නීති පද්ධතියේ වෙනසක් සිදුවන අවස්ථා ඉතා විරල ය. උදාහරණයක් වශයෙන් වර්ෂ එක්දහස් හත්සිය අසූ නවයේදී (1789) ක්‍රියාත්මක වූ ඇමෙරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ දක්වා සංශෝධනය වී ඇත්තේ විසිහත් වරකදී පමණි.

එහෙත් ශ්‍රී ලංකාවේ සිදුවන්නේ එකම පිරිස කලින් කලට රටේ ආර්ථික ප්‍රතිපත්ති, දේශපාලන මුහුණුවර පමණක් නොව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවද වෙනස් කරමින් දීර්ඝ කාලයක් තිස්සේ බලයේ රැඳී සිටීමයි. ශ්‍රී ලාංකික දේශපාලන මාෆියාව නාටකයකට සමකළ හැකිය. එහි විවිධාකාර රඟදැක්වීම් දැකිය හැක. වරෙක පක්ෂ බෙදී වෙන්වී ස්වාධීන කණ්ඩායම් ගණනාවක් නිර්මාණය වන අතර තවත් වරෙක පක්ෂ කිහිපයක් සන්ධානගතවී නව ප්‍රතිපත්ති යැයි හුවා දක්වමින් සුපුරුදු වැඩපිළිවෙල ඒ ආකාරයෙන්ම සිදු කරයි. එමෙන්ම පාර්ලිමේන්තුව ඇතුලත සතුරන් මෙන් කුළල්කාගනිමින් ගහබැණගන්නා පිරිස් නැවතත් එකට අසුන්ගනිති. එක පාර්ශවයක් විසින් තවත් පාර්ශවයක් වෙත බරපතල අපරාධ චෝදනා එල්ල කරනු ලබයි. එම චෝදනා වලට අදාලව පාර්ලිමේන්තුව තුලද සමාජයේද විශාල කතිකාවතක් ඇතිවේ. ඇතැම් විටෙක ඒ සඳහා වෙනම කොමිසමක් පත්කර විමර්ශන කටයුතු ද යම් මට්ටමකට සිදුවේ. චෝදනා ලබූ පුද්ගලයන් මාධ්‍ය වෙත මාංචු ලූ දෑත් පෙන්වමින් රිමාන්ඩ් භාරයට පත්වේ. මේ නාටකය අවසානයේ සිදුවන්නේ චෝදනා එල්ල කළ පාර්ශවයත් චෝදනා ලැබූ පාර්ශවයත් යන දෙපාර්ශවයම ආණ්ඩු පක්ෂයේ හෝ විපක්ෂයේ ලෙස පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමය. මෙම දීර්ඝ නාටකය අවසානයේ මුලාවට පත්ව ඇත්තේ එහි ප්‍රේක්ෂකයන් වූ මහජනතාවය. නාටකය රගපෑ නලුනිලියන් සිය ගාස්තුව ලෙස පාර්ලිමේන්තුවේ අසුන් හිමිකරගෙන ඇත. දිගු කාලයක් තිස්සේ මෙසේ මුල් බැසගත් දේශපාලන සංස්කෘතියක් අභිමුව මහජනයා හට ඡන්ද බලය හිමිවූ පමණින්ම රාජ්‍යපාලනයට සුදුස්සා තෝරා ගැනීමේ පූර්ණ බලය හිමි වන්නේද යන්න අවධානය යොමු කළ යුතුයි. ඡන්ද බලය මඟින් කළ හැකි උපරිමය වන්නේ දූෂිතයන් අතරින් අවම දූෂිතයා තේරීමය.

එබැවින් පළමුව වෙනස් කළ යුත්තේ ජනතාවගේ කතිරය නොව ඡන්ද අපේක්ෂකයෙකු ඉදිරිපත් කරවන යාන්ත්‍රණයයි.

ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වන සමානුපාතික මනාප ක්‍රමය යටතේ ඕනෑම මැතිවරණයක් සඳහා අපේක්ෂකයෙකුට ඉදිරිපත් විය හැක්කේ දේශපාලන පක්ෂයක් තුලින් පමණි. ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට හෝ එමඟින් මැතිවරණ ජයග්‍රහණයක් කරා එළඹීමට තනි පුද්ගලෙකුට හැකියාවක් නැත. ස්වාධීනව තරඟ කිරීමට නම් අවම වශයෙන් එක දිස්ත්‍රික්කයට හෝ කණ්ඩායමක් වශයෙන් සකස් විය යුතු වේ. මෙහි ඇති මූලික ගැටලුව නම් ජනතාව සතු පාලන බලතල ක්‍රියාත්මක කිරීම සඳහා නියෝජිතයන් තෝරාපත් කරගැනීමේ යාන්ත්‍රනය එක රාමුවකට සීමා වීමයි. වක්‍ර ප්‍රජාතන්ත්‍රවාදය යන්නෙත් සැබෑ හරය වන්නේ පුද්ගල කණ්ඩායමක් විසින් තමන්ගේ ඕනෑ එපාකම් අනුව තෝරා ඉදිරිපත් කරනු ලැබූ පිරිසක් අතුරින් යමෙක් වෙත ජනතාව සතු පරමාධිපත්‍ය බලයේ අංගයක් වන පාලන බලතල විතැන් කිරීම නොව එම සමාජ සන්දර්භයට ඇතුලත් ඕනෑම අයෙකු හට (ඔහුගේ කැමැත්ත ඇතිව) පාලන බලය පවරාදීම සඳහා ඇති අයිතියයි. ප්‍රජාතන්ත්‍රවාදය වඩාත් අරුත්පන්න සහ කාර්යක්ෂම වන්නේ එම අයිතිය සුරක්ෂිත වන විටයි.

එබැවින්, ගුණාත්මක පුද්ගල කණ්ඩායමක් අතට පාලන බලය ලබාදීමට නම් ජනතාව සතු ඡන්ද බලය අභිබවා පක්ෂ විසින් ආධිපත්‍යයක් ගොඩනැංවීමට හේතු වී ඇති දැනට ක්‍රියාත්මක වන මැතිවරණ යාන්ත්‍රණය වෙනුවට ඕනෑම පුද්ගලයෙකුට මැතිවරණයකට ඉදිරිපත් වීමට ඇති අයිතිය ආරක්ෂා කරන සරල බහුතර ඡන්ද ක්‍රමය හෝ වෙනත් විකල්ප යාන්ත්‍රණයක් බලගැන්වීම සිදුකළ යුතුය. එමෙන්ම එක් පුද්ගලයෙකුට පාර්ලිමේන්තුව නියෝජනය කල හැකි වාර ගණන සීමා කිරීමද කළ යුතුය ය. එහෙත් එවැනි වෙනසක් සිදුකිරීම සඳහා ද දැනට පවතින යාන්ත්‍රනය තුලින්ම තේරීපත්වූ මන්ත්‍රිවරුන් විසින්ම ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය වේ. ශ්‍රී ලංකාවේ දේශපාලන පද්ධතිය විෂම චක්‍රයකට හසුවී ඇති බව මින් පැහැදිලි ය.

කෙසේ වෙතත් සමස්තයක් වශයෙන් රටක ජනතාව දේශපාලන වශයෙන් බුද්ධිමත් සහ ප්‍රඥාවන්ත කිරීමේ වගකීමක් රටේ බුද්ධිමතුන්ට මෙන්ම මාධ්‍යයටද ඇත. ආගමික නායකයින්ද තම තමන්ගේ ආගමික හරය ඉස්මතු කිරීම තුලින් සත්පුරුෂයා හඳුනාගැනීමට මහජනයාට මග පෙන්විය හැකිය. එහෙත් මෙම කර්තව්‍යය ඵල දැරීමට නම් සත්පුරුෂයන් දේශපාලනයට ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදයක් සකස්විය යුතුමය. එසේ නොවන තාක් සත්පුරුෂයන් පාර්ලිමේන්තුවට යැවීම සර්පයන් අතුරින් සාන්තුවරයන් තේරීමක් වැනිය.

උදීප් තෙන්නකෝන්
නීති ශිෂ්‍ය, කොළඹ විශ්ව විද්‍යාලය

Facebook Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *