මීළග ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සදහා සුදුසුකම් ලැබීමේ වටයේදී ශ්‍රී ලංකාවට තම පළමු ගෝලය රැස් කිරීමට ඊයේ හැකියාව ලැබුනා. එහිදී ගෝල 3-2 ක් ලෙස ශ්‍රී ලංකාව පරාජය වුවත් මෙම වටයේ ශ්‍රී ලංකාව දැක්වූ හොදම දක්ෂතාවය මෙය බවට කිසිදු සැකයක් නැහැ. ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂතා පිළිබදව වෙනම සාකච්ඡා කල යුතු වුවත් මෙහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ගෝල දෙකම රැස් කර වසීම් සම්බන්ධ ලිපියක් පල කිරීම අපේ වගකීමක් ලෙස සිතුනා.
අහමඩ් වසීම් 1994 සැප්තැම්බර් 19 වන දින උපදින්නේ ජර්මනියේ බර්ලින් නුවරදි. කුඩා කල පටන් පාපන්දු ක්‍රීඩාවට දක්ෂතා දැක්වූ වසීම් 2009 වසරේදී TeBe Berlin 17 න් පහල කණ්ඩායම සමග ගිවිසුම් ගත වෙනවා. ඉන් පසුව 2011 වසරේදී තම පාපන්දු ක්‍රීඩාව තවදුරටත් දියුණු කරගන්න ඔහු ජර්මනියේ ප්‍රධාන පාපන්දු කණ්ඩායමක් වෙන Union Berlin කණ්ඩායමේ 19 න් පහල කණ්ඩායමට සුදුසුකම් ලබා ඉන් වසර දෙකක් යන්නට මත්‍තෙන් එනම් 2013 දී Union Berlin පාපන්දු කණ්ඩායම සමග ගිවිසුම් ගත වෙනවා. Bundesliga දෙවන ලීගය මෙන්ම DFB Pokal නම් ජර්මානු අභ්‍යන්තර කුසලානයටද ක්‍රීඩා කිරීමට වසීම්ට හැකියාව ලැබෙනවා.
අහ්මඩ් වසීම් මෙම කණ්ඩායම් වලදී Right Winger සහ Right Midfielder කියන ස්ථාන දෙකක ක්‍රීඩා කරන ලද ක්‍රීඩකයෙක්. මේ වන විට Up Country Lions ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයෙක් ලෙස තරග වදින වසීම් ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම සමග එකතු වෙන්නේ 2019 වසරේදී. ඔහු ශ්‍රී ලංකාව සදහා මේ වෙනකන් තරග 4කදී ගෝල දෙකක් රැස් කර තිබෙනවා. එම ගෝල දෙකම ඊයේ දිනයේ පාපන්දු ශ්‍රේණිගත කිරීමේ 93 වන ස්තානයේ ඉන්න ප්‍රභල ලෙබනන් කණ්ඩායමට එරෙහිව රැස් කිරීම කැපීපෙනෙනවා
ඉතින් මේ වයස 26 ති දක්ෂ ක්‍රීඩකයාට ශ්‍රී ලංකාව වෙනුවෙන් තවදුරටත් මෙවනි දස්කම් දක්වා ශ්‍රී ලාංකීය පාපන්දු ක්‍රීඩාව ලෝකයට අරන් යනකන් මෙරට පාපන්දු ලෝලීන් බලන් ඉන්නවා.
Photo Credit: ThePapare
Comments