Business

අභියෝග මැදින් ජීවිතය ජයගත් මිනිසෙක්

0
නව නිපැයුම් සඳහා ඉතා පසුගාමී රටක් වන අප වැනි රටක නව නිෂ්පාදන සිදු කරමින් මාතලේ දිස්ත්‍රික්කයේ ව්‍යාපාර කටයුතු සිදු කරන අරුණ ශාන්ත දේවණාරයන මහතා ඔහුගේ ව්‍යාපාරය පිළිබඳව මෙසේ පිළිසඳරක් සඳහා අප හා එක් වුණා.

 

ඔබගේ ව්‍යාපාර ගමනේ ආරම්භය පිළිබඳව කතා කලොත්…

දෙව්මිණි ස්වීට්ස් ඇන්ඩ් බයිට්ස් ලෙස ලියාපදිංචිය කල මගේ ව්‍යාපාරයේ මුලින්ම සිදු කලේ මුරුක්කු බයිට් සඳහා අවශ්‍ය මැෂින් නිර්මාණය කිරීම. සාම්ප්‍රදායික මුරුක්කු ආශ්‍රිත මැෂින් නිර්මාණයන්ගෙන් බැහැර වෙලා එකම හැඩයකට සීමා වෙන්නේ නැතුව පුද්ගලයාගේ අවශ්‍යතාවයට ගැලපෙන ආකාරයට ක්‍රියාකල හැකි මැෂින් නිර්මාණයට පෙළඹුණා. මම නිෂ්පාදනය කරන්නේ එකම හැඩයේ මැෂින් නොවන නිසා මුරුක්කු බයිට් සාදන නිෂ්පාදකයින් මා වෙත ආකර්ශණය වුනා. ඔවුන්ගේ අවශ්‍යතාවයට අනුව මම නිෂ්පාදන කටයුතු සිදු කලා.

ඔබ මුරුක්කු බයිට් සාදන මැෂින් නිර්මාණයට පමණක්ද යොමු වී සිටින්නේ?

නැහැ. මුලින්ම මුරුක්කු බයිට් මැෂින් නිර්මාණය කලා. 2012 දී සමාජ සේවා දෙපාර්තමේන්තුවට බැඳිලා ඔවුන්ගේ උපදෙස් මත රටට දෙයක් කිරීමට අවශ්‍ය වුණා. ඉන්පසු ටැබ්ලට් දාන කවර නිෂ්පාදනයට මැෂින් එකක් පළමුව කරලා පළාත් සභාවට ඉදිරිපත් කලා. එයින් දවසකට කවර 10000 ක නිෂ්පාදනයක් කිරීමට හැකියාව ලැබුණා. එතනින් තමයි මැෂින් නිර්මාණය කිරීමේ ගමන ආරම්භ කලේ.

මීට අමතරව ඔබ විසින් නිර්මාණය කර තිඛෙන මැෂින් වර්ග මොනවාද?

විවිධ මැෂින් වර්ග නිර්මාණය කිරීම නිසා විවිධ පුද්ගලයින් මාව හොයාගෙන එන්න පටන් ගත්තා. ආබාධිත අයගේ පහන්තිර හදන මැෂින් සබන් අච්චු, කිරිටොෆි කපන රෝලර් ආදිය ඒ අතර වනවා. මඤ්ඤොක්කා පෙති කපන මැෂින් එකක් වගේම නාගරික ගෘහණියන්ට සරිලන ලෙස ගෑස් ලිප් රඳවනයක් සහ ඒ හා සම්බන්ධ කළ හැකි එළවළු රාක්කයක් නිර්මාණය කරලා තිඛෙනවා.

ඔබගේ මැෂින් නිෂ්පාදනයට අවශ්‍ය තාක්ෂණය ලබා ගන්නේ කොහොමද?

මැෂින් හදන්න ඕන කරන තාක්ෂණය මම සාදා ගත්තා. ඒවාට වුවමනා කරන උපකරණ මම නිර්මාණය කර ගත්තා. උපකරණ සාදන්න අවශ්‍ය අමුද්‍රව්‍ය මිලදී ගන්නේ යකඩ බඩු කඩවලින්. මිනිස්සු ඉවත් කරන පරණ බඩු බාහිරාදිය මගේ නිෂ්පාදන වලට හරිම වැදගත්. ඒ වගේම තමයි නිපැයුම් බිහි කිරීමේ දැනුම මට උපතින්ම උරුම වුණු දෙයක් බවයි මගේ විශ්වාසය.

ඔබගේ නිර්මාණ සඳහා විවිධ ඇගැයුම් ලැබුණු අවස්ථා මතක් කළොත්…

2017 වසරේ ආබාධ සහිත තැනැත්තන්ගේ ස්වශක්ති සංවිධාන ඇගැයීමේ ජාතික සම්මාන උළෙලේදී ජාතික මට්ටම නියෝජනය කරමින් හොඳම SMART නිපැයුම්කරු ලෙස ලංකාවෙන් ප්‍රථම ස්ථානය හිමි කර ගැනීමට මට හැකි වුණා. ඉතින් එයින් මගේ මානසික තත්ත්වය තවත් උසස් මට්ටමකට පත් වුණා. ඒ විතරක් නෙමෙයි පත්තරේ මං පිළිබඳ විස්තර පළ වුණා. රූපවාහිනී වැඩ සටහනකට සම්බන්ධ වුණා. මේ සෑම දෙයකින්ම මාතලේ දිස්ත්‍රික්කයේ විතරක් නෙමෙයි ලංකාවෙම පුද්ගලයෝ මාව හඳුනා ගත්තා. මගේ නිපැයුම් සඳහා ඉල්ලුම වැඩි වුණා. රාජ්‍ය නොවන ආයතන උදව් කළා. ඒ තුළින් මම ගොඩ නැගුණා.

දෘශ්‍යාබාධිත තත්වයට පත් වීමත් සමග ජීවිතයේ කඩා වැටීම් සහ අපහසුතාවයට පත් වූ අවස්ථා තිඛෙනවාද?

 කුඩා කාලයේ පටන් දෘෂ්ටි අසීරුතා තිබුණු නිසා වෛද්‍යවරුන්ගේ මතය වුනේ මට වයස අවුරුදු 40 වන විට සම්පූර්ණයෙන්ම අන්ධභාවයට පත්වෙනවා කියලා. මේක දැනගෙන මගේ දෙමව්පියන් ඒ පිළිබඳව මගෙන් වසන් කරගෙන සිටියා. කෙසේ වෙතත් දෘෂ්ටි අපහසුතා මධ්‍යයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සා/පෙළ විභාගයට මුහුණ දීමට මට හැකි වුණා. සමාජයෙන් මාව වැට්ටුවේ නැහැ. ස්වාධීනව රටම බරක් නොවී ජීවත් වීමට මම ඉගෙන ගත්තා.

ඔබගේ පවුලේ පසුබිම පිළිබඳව සඳහන් කළොත්…

මගේ පවුලේ සහෝදර සහෝදරියන් කිහිප දෙනෙක්ම සිටිනවා. පියාගේ අඩිපාරේ යමින් අන් අයට වඩා කාර්මික අංශයේ දක්ෂතා මා වෙතින් පෙන්නුම් කළා. වර්තමානයේදී මම ආදරණීය දියණියකගේ පියාණන් කෙනෙක්.

සාර්ථක නිපැයුමක් බිහි කිරීම සඳහා ඔබ හා එක් වී සිටින සහයෝගය ලබා දෙන පුද්ගලයින් කවුරුන්ද?

මගේ ව්‍යාපාරයේ සේවකයින් ලෙස කටයුතු කරන්නෙත් විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයින්. දැනට කථන ආබාධිත පුද්ගලයෙක් සහ දෑත් අහිමි පුද්ගලයෙකු සේවයේ යෙදී සිටිනවා. ව්‍යාපාරයට සහය වූවන් මතක් කළොත්, මාතලේ ප්‍රාදේශීය මහලේකම්තුමියගේ අනුග්‍රහය යටතේ මාතලේ දිස්ත්‍රික්කයේ වැඩපොළක් කරගෙන යාමට අවකාශය ලැබුණ නිසා ආබාධ සහිත වූවන්ගේ නිෂ්පාදන අලෙවි ප්‍රවර්ධන මධ්‍යස්ථානයක් බිහි කරන්න හැකියාව ලැබුණා. ඒ තුළින් ව්‍යාපාරයේ වර්ධනය සිදු වුණා.

වර්ථමානයේ බොහෝ ව්‍යාපාර COVID 19 නිසා කඩා වැටීම් වලට ලක්වුණා. ඔබගේ ව්‍යාපාරයට එයින් බලපෑමක් සිදු වුණාද?

ඇත්තටම නැහැ. කොරෝනා නිසා අපහසුතාවයට පත් වුණු බොහෝ පිරිස් අතර මම මගේ මානසිකත්වය වගේම අදාල නිෂ්පාදන බිහි කරන්න අවශ්‍ය ධෛර්යය වර්ධනය කර ගත්තා. COVID 19 සමයේ අත් සෝදන සින්ක් සඳහා වැඩි ඉල්ලුමක් තිබුණා. ඉතින් අවම පිරිවැයකට සින්ක් එකක් නිර්මාණය කරන්න මට හැකියාව ලැබුණා. ඒ සඳහා මට වැය වුණේ රු. 5000ක් වගේ මුදලක්.

ඔබේ ඉදිරි සැලසුම් පිළිබඳව මතක් කලොත්…

මම ඉදිරියේදී මගේම කියලා මුරුක්කු බයිට් නිෂ්පාදනය කරලා වෙළඳපොලට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි මම වගේම විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම අරමුණු කර ගනිමින් කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කල හැකි නිපැයුමක් බිහි කිරීමට බලාපොරොත්තු වෙනවා..

අවසාන වශයෙන් සමාජයට දෙන්න තියෙන පණිවුඩය කුමක්ද?

වැදගත්ම දේ තමයි මහපොළවට බරක් නොවී ජීවත් වෙන්න ඕන. මම වගේ විශේෂ අවශ්‍යතා තිඛෙන පුද්ගලයින් තව කෙනෙකුගේ අනුකම්පාවකින් තොරව හිත ශක්තිමත් කර ගැනීම ඉතාමත් වැදගත්. සාමාන්‍ය මනුෂ්‍යයෙකු ලෙස සතුටින් තම ආත්ම අභිමානය රැක ගනිමින් කටයුතු කරන්න ඕන.

ඔබව සම්බන්ධ කර ගත හැකි දුරකථන අංකයක්…

0763399915

“අපි වියමු අපි අදිමු”

Previous article

ඇමසන් වැසි වනාන්තරයේ ගිනිගැනීම් පසුගිය වසරේදී තවත් දරුණු විය…

Next article

Comments

Leave a reply

Your email address will not be published.

You may also like

More in Business