ලෝක ජනගහනයෙන් 50% ක් පමණ ම කාන්තාවන් ය. එමෙන් ම ලෝක ශ්‍රම හමුදාවෙන් 40% ක් නියෝජනය කරන්නේ ද කාන්තාවන් ය. ආර්ථීක සංවර්ධනයෙහිලා මොවුන්ගෙන් ඉටුවන කාර්යභාරය සුවිශාල ය. උදාහරණ වශයෙන් ලොව කෘෂිකාර්මික ශ්‍රම හමුදාවෙන් 43 % ක් කාන්තාවන්ගෙන් සමන්විත වේ. විවිධ රටවල ආර්ථීක සංවර්ධනයෙහිලා කාන්තාවන්ගේ සහභාගිත්වය නොයෙකුත් සමාජ, සංස්කෘතික හා දේශපාලන බලපෑම් මත සීමා වී පවතී. එහෙත් පොදුවේ ගත් විට සමස්ත ලෝකයෙහි ම සංවර්ධනයෙහිලා කාන්තාවෝ විශාල දායකත්වයක් දක්වමින් සිටිති. එමෙන්ම එය තවදුරටත් පෙර නොවූ විරූ පරිදි වර්ධනය වෙමින්, පුළුල් වෙමින් පවතී. ඇතැමෙක් පවසන්නේ නැගී එන ආර්ථීක අතර චීන ආර්ථීකයේ පිබිදීමටත්, නව තාක්ෂණයේ පිබිදීමටත් වඩා වේගයෙන් ආර්ථීක සංවර්ධනයෙහිලා කාන්තාවන්ගේ සහභාගිත්වය වැඩි වෙමින් පවතින බවයි. 1997-2007 අතර කාන්තාවන් මිලියන 200ක් අලූතින් ශ්‍රම වෙළෙඳපොළට එක්වූ අතර මෙම වර්ධනය රැකියා වනිතාකරණය (Feminisation of Employment) යන සංකල්පය ප්‍රචලිතවීමට හේතු විය. එමෙන් ම මෙසේ සමාජමය හා ආර්ථීකමය වශයෙන් කාන්තාව ශක්තිමත්වීම, ව්‍යාපාරික හා වෙනත් විවිධ ක්ෂේත්‍රවල ප්‍රගමනය උදෙසා කාන්තාවන්ගෙන් ඉටුකෙරෙන කාර්යභාරය පිළිබඳව ඇගයීම, අධ්‍යයනය කිරීම හා විශ්ලේෂණය කිරීමට වනිතාර්ථීක විද්‍යාව (Womenomics) යන යෙදුම වර්තමානයේ භාවිතයට ගැනෙයි. කෙසේ වෙතත් ලොව බොහෝ රටවල කාන්තාව අතින් ඉටුකෙරෙන කටයුතු සම්භාරය මුලූමනින් ම මැනීමක් කෙරෙන්නේ නැත.
විධිමත් හා අවිධිමත් අංශවල නිශ්චිත රාමුවක් තුළ කෙරෙන ක්‍රියාකාරකම්වල ගණනයක් සිදු කෙරුණ ද බොහෝ විට සංවර්ධනය වෙමින් පවත්නා සහ අඩු සංවර්ධිත රටවල කාන්තාවන් විසින් මෙකී රාමුවෙන් පිටත ඉටුකරනු ලබන කාර්යභාරය බොහෝ විට මෙම මිණුම් තුළට අසුවන්නේ නැත. එහෙත් වර්තමානයේ ඒ පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවී ඇති බවක් දක්නට ලැඛෙයි. ආර්ථීක සංවර්ධනයෙහිලා කාන්තා සහභාගිත්වය වර්ධනය කිරීම මඟින් ඵලදායීතාව ඉහළ නැංවිය හැකි ආකාරය පිළිබඳව අධ්‍යයනය කරනු දක්නට ලැඛෙයි. පොදුවේ ගත්විට ලොව කාන්තාවන් විෂයෙහිලා දැකිය හැකි කැපී පෙනන ලක්ෂණ වනුයේ ඔවුන්ගේ ආයු අපේක්ෂාවෙහි ඉහළ යෑමත් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ඔවුන් හිමිකරගෙන ඇති සහ හිමිකරගනිමින් සිටින ප්‍රගතියත් වෘත්තීය සහ කළමණාකරණ මට්ටමේ රැකියාවන්හි ඔවුන්ගේ නියෝජනය ඉහළ යමින් පැවතීමත් ය. එමෙන් ම අඩු සංවර්ධිත සහ සංවර්ධනය වෙමින් පවත්නා රටවල කෘෂිකර්මය, අපනයන සැකසුම් කර්මාන්ත කටයුතු හා ශ්‍රම විගමනය සම්බන්ධව ද කාන්තාවන්ගේ දායකත්වය කැපී පෙනේ. මෙසේ වර්තමානයේ විවිධ ක්ෂේත්‍ර ඔස්සේ කාන්තාව ලොව ආර්ථීක ක්‍රියාවලිය හා සම්බන්ධ වන ආකාරය පිළිබඳව කෙටි විමසුමක යෙදීම මෙම ලිපියේ අරමුණ වේ.
ආර්ථික සංවර්ධනය සඳහා කාන්තාවෝ විවිධ ආකාරයෙන් සිය ශ්‍රමය කැප කරත්. සෘජුව ම නිෂ්පාදන ක්‍රියාවලියට සම්බන්ධවීමෙන් මෙන්ම, සිය කුටුම්භය තුළ මනා ආර්ථීක කළමනාකරණයක් පිහිටුවීමට හා පවත්වාගෙන යෑමට පියවර ගනිමින් අනාගත ආයෝජනයේ සුවිශේෂී මූලාශ්‍රයක් වන නිරෝගී, සෞඛ්‍ය සම්පන්න සහ දැනුමින් පොහොසත් දරු පරපුරක් සඳහා සිය ශ්‍රමය කැප කරමින් සංවර්ධන ක්‍රියාවලියට සම්බන්ධ වෙති.
ආර්ථීක වර්ධනය සහ කාන්තා ශ්‍රම සහභාගිත්වයෙහි ඉහළ යෑම අතර සෘජු සම්බන්ධතාවක් පවතී. ලෝක දළ දේශීය නිෂ්පාදිතයසඳහා කාන්තාවන්ගේ දායකත්වය 40% ක් ලෙස ගණන් බලා ඇත. එහෙත් මෙම ගණන් බැලීම්වලට හසු නොවන සුවිශල් කාර්යභාරයක් කාන්තාව අතින් ඉටු කෙරෙයි. විශේෂයෙන් ම අඩු සංවර්ධිත සහ සංවර්ධනය වෙමින් පවත්නා රටවල කාන්තාවන් නියැලෙන අවිධිමත් අංශයේ ක්‍රියාකාරකම් රැසක් ගණන් ගැනීම්වලට අසුවන්නේ නැත. සඳට ඇති දුර කි.මී. 394,400 ක් නම් දකුණු අප්‍රිකාවේ කාන්තාවන් සමූහය එක්ව නිවසට අවශ්‍ය වතුර ගෙන ඒමට දිනකට ගමන් කරන දුර 16 වතාවක් හඳට ගොස් ආපසු ඒමට ගමන් කරන දුරට සමාන ය. එහෙත් මෙම ආර්ථීක කටයුතු සංවර්ධනය මැනීමේ දී අවධානයට හෝ ගණන් බැලීමට හෝ ලක්වන ඒවා නොවේ. ඔවුන් ශ්‍රමබලකාය තුළ හිඳිමින් ඊට යම් වටිනාකමක් එකතු නොකොට, ශ්‍රම සහභාගිත්වයක් නොදක්වන පිරිසක් ලෙස ගණන් බැලීම් රාමුව තුළ සිටිය ද ආර්ථීක ක්‍රියාවලිය තුළ දැවැන්ත කාර්යභාරයක් ඉටුකරමින් සිටියි. ලොව ඇතැම් ප්‍රදේශවල කෘෂිකාර්මික ශ්‍රමයෙන් සියයට 70ක් සැපයෙන්නේ කාන්තාවන් ගෙනි. ආහාර නිෂ්පාදනයෙන් 90% ක් නිපදවන්නේ කාන්තාවන් ය. ශ්‍රී ලංකාවේ ද දේශීය කෘෂිකර්මය තුළ මෙන් ම තේ සහ රබර් වගාව ආදී වතු වගාව ආශ්‍රිතව ද කාන්තා ශ්‍රමය බහුලව යොදා ගැනෙයි. ඔවුහු කෘෂිකාර්මික කටයුතුවල නියැලෙන අතර ම කුටුම්භය තුළ කුදු මහත් සියලූ මෙහෙවර ඉටුකරති. පරිභෝජනය උදෙසා ගෙවතු වගාවේ යෙදෙති. වෙළෙඳපොළ හා ගනුදෙනු කරති. එහෙත් ලොව කිසිදු තැනෙක මෙම සමස්ත ක්‍රියාවලිය ම ජාතික නිෂ්පාදිතය මැනීමේ දී සැලකිල්ලට ගනු ලබන්නේ නැත. මෙක්සිකෝවෙහි වැටුප් ලබන කාන්තාවන් සිය රැකියාවෙහි නියැලීමට අමතරව සතියකට පැය 33 ක් නිවසේ කටයුතු සඳහා යොදවයි. පිරිමින් ඒ සඳහා කැප කරන්නේ සතියකට පැය 6 ක් පම‚. ආජන්ටිනාව, නිකරගුවාව, ඉන්දුනීසියාව, දකුණු කොරියාව, දකුණු අප්‍රිකාව සහ ටැන්සානියාව යන රටවල් 6 හි කාන්තාවන් පිරිමින්ට වඩා දෙගුණයකටත් වඩා වැඩි කාලයක් ගෙවීම් නොලබන ගෘහස්ත කටයුතු සඳහා යොදවයි. ඉන්දියාවෙහි මෙම අනුපාතය 10:1කි.
ශ්‍රී ලංකාවේ ද රජයේ හෝ පෞද්ගලික අංශයේ හෝ රැකියාවල නියුතු බොහෝ කාන්තාවන් නිවසේ කටයුතු සඳහා කැපකරන කාලය පිළිබඳ නිශ්චිත ගණන් බැලීමක් සිදුකරන්නේ නැත ද ආසන්න වශයෙන් මෙකී කාලයේ සමාන්‍යය සතියකට පැය 35 – 40 ක් පමණ වනු ඇත. ලොව රටවල් රැසක ස්ත්‍රී, පුරුෂ දෙපාර්ශ්වය එකම රැකියාවල නියුතුවන්නේ වුව ද ඇතැම් අවස්ථාවල ඔවුනට ගෙවන නාමික වැටුප් අතර වෙනස්කම් පවතිනු දක්නට ලැඛෙයි. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත් විට දෛනික වැටුප් ගෙවීමේ දී මෙවැනි විෂමතා දක්නට ලැඛෙයි. ඇතැම් අවස්ථාවල මහා මාර්ග, නිවාස හා ගොඩනැගිලි ඉදිකිරීම් අංශයේ ද කාන්තා ශ්‍රමය යොදාගනු ලබන අවස්ථාවල ඔවුනට ලැඛෙන්නේ සාපේක්ෂව අඩු වැටුපකි. වැටුප් ක්‍රමවල පවත්නා මෙම පරතරය ඉහළ ඵලදායීතාවක් ලබාගැනීමට බාධාවකි. ගොල්ඩ්මන් සැක්ස් (Goldman Sachs) ආයතනය පවසන පරිදි විවිධ රටවල ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයට සමාන වැටුප් ගෙවීමෙන් එම රටවල දළ දේශීය නිෂ්පාදිතය වර්ධනය කළ හැක. ඒ අනුව යුරෝ කලාපයේ දළ දේශීය නිෂ්පාදිතය 13% කින් ද ජපානයේ 16% කින් ද එක්සත් ජනපදයේ 9% කින් ද ඉහළ නැංවිය හැකි බව ගොල්ඩ්මන් සැක්ස් ආයතනය සඳහන් කරයි. 2012 ලෝක සංවර්ධන වාර්තාව (World Development Report 2012) ද කාන්තාවන්ගේ නිපුණතා සහ කුසලතා උපරිම ධාරිතාවයෙන් භාවිතයට ගැනීම ඵලදායීතාව ඉහළ නැංවීම සඳහා ඛෙහෙවින් ඉවහල් වන බව සඳහන් කරයි. එම වාර්තාව මෙයට උදාහරණ ලෙස මලාවි සහ ඝානාවේ ගෙවිලියන්ට, ගොවියන්ට හා සමානව පොහොර සහ වෙනත් කෘෂිකාර්මික යෙදවුම් ද ණය පහසුකම් යනාදිය ද ලබා දෙන්නේ නම් මලාවියේ ඉරිඟ අස්වැන්න 17% කින් ද ඝානාවේ 16% කින් ද ඉහළ නැංවිය හැකි බව පවසයි. එමෙන් ම ඇතැම් රටවල විවිධ ක්ෂේත්‍රවල කාන්තාවන්ට ඇති බාධක හා අවහිර ඉවත් කරන්නේ නම් ඵලදායීතාව 25% කින් ඉහළ නැංවීමට හැකිවන බව වාර්තාව තවදුරටත් සඳහන් කරයි.
Comments